මාසයක් ජීවත් වෙන්න අවශ්‍ය අවම මුදල රු. 221කින් පහළට

    October, 11, 2024

    2024 අගෝස්තු මාසය සඳහා අදාළ වන නිල දරිද්‍රතා රේඛා සටහන ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

    ඊට අනුව 2024 අගෝස්තු මාසයේ නිල දරිද්‍රතා රේඛාව රු. 16,152 ක් ලෙසින් දක්වා ඇති අතර පසුගිය මාස 12 ක කාලපරිච්ඡේදය තුළ වාර්තා වී ඇති අවම අගය මෙය වනු ඇත. 2024 ජූලි මාසයේ දී මෙම අගය රු. 16,373ක් ලෙසින් සටහන්ව තිබේ. ඒ අනුව රු. 221 කින් නිල දරිද්‍රතා රේඛා අගය පසුගිය අගෝස්තු මාසයේ දී පහළ ගොස් ඇති බව නිරීක්ෂණය කළ හැකිය.

    මූලික අවශ්‍යතා සපුරාලීම සඳහා එක් පුද්ගලයෙකුට මසකට අවශ්‍ය අවම වියදම මෙම නිල දරිද්‍රතා රේඛාව හරහා ඇස්තමේන්තු කර ඇත. මෙම අගය අනුව 4 දෙනෙකුගෙන් යුත් පවුලකට මාසයක් සඳහා සිය අවම මූලික අවශ්‍යතා සපුරා ගැනීමට අවශ්‍ය කෙරෙන මුදල රු. 65,492 ක් වේ.

    ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසන පරිදි 2024 අගෝස්තු මාසයේ දී ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව මෙරට උද්ධමනය ඊට පෙර මාසයට සාපේක්ෂව පහළ ගොස් තිබීම මෙලෙස දරිද්‍රතා රේඛාව පහළ යාමට ප්‍රධාන වශයෙන් හේතු වී තිබේ.

    දරිද්‍රතා රේඛා සටහන දිස්ත්‍රික්ක මට්ටමින් ප්‍රකාශයට පත්කෙරෙන අතර එහිදී ඉහළම අගය කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වේ. ඊට අනුව කොළඹ දිස්ත්‍රික්කය තුළ වෙසෙන  පුද්ගලයෙකුට 2024 අගෝස්තු මාසයේ දී රු. 17,420 ක් සිය අවම මූලික අවශ්‍යතා සපුරා ගැනීමට අවශ්‍ය වනු ඇත. අවම අගය මොනරාගල දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එය රු. 15,444 කි.

    2024 අගෝස්තු මාසයට අදාළව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කරන ලද නවතම දරිද්‍රතා රේඛා සටහන පහතින් දැක්වේ.