මාස 03කට පසු කොටස් වෙළෙඳපොළ 12,000 සීමාව අතික්‍රමණය කරයි

    October, 4, 2024

    කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල කැපීපෙනෙන ඉහළ යාමක් අද (04) දිනයේ දී ද වාර්තා විය.

    එහිදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 123.50 කින් ඉහළ ගොස් දිනයේ ගනුදෙනු අවසානයේ දී ඒකක 12,053.49 ක් ලෙසින් සටහන් වුණි.

    මෙලෙස සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 12,000 සීමාව ඉක්මාව ගොස් තිබුණේ 2024 ජූලි 03 වන දිනෙන් පසුව වීම විශේෂත්වයකි.

    රු. බිලියන 2.83 ක ගනුදෙනු පිරිවැටුමක් අද දිනයේ දී වාර්තා විය.

    එහිදී සම්පත් බැංකුව (රු. බිලියන 1.39), හැටන් නැෂනල් බැංකුව (රු. මිලියන 284), කොමර්ෂල් බැංකුව (රු. මිලියන 156) හා ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් (රු. මිලියන 122) යන සමාගම්වලින් දෛනික පිරිවැටුමට ඉහළ දායකත්වයක් ලැබී තිබුණි.