මාස 12කදී නෙළුම් කුලුනෙන් රු. මිලියන 539ක ලාභයක්

    September, 25, 2025

    කොළඹ නෙළුම් කුලුන හරහා 2024 සැප්තැම්බර් මාසයේ සිට මෙම වසරේ අගෝස්තු දක්වා ‍ගත වූ වසරක කාල සීමාව තුළ මිලියන 539 ක ලාභයක් වාර්තා කිරීමට හැකි වී ඇති බව නෙළුම් කුලුන ව්‍යාපෘතියෙහි ප්‍රධාන විධායක නිලධාරී මහාචාර්ය චමරු ද අල්විස් මහතා පවසයි.

    පසුගිය දා පැවති නෙළුම් කුලුන තුළින් වසරක කාලයක් තුළ අත් කරගත් ප්‍රගතිය සහ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක දී ඔහු මේ බව පවසා සිටියේ ය.

    ඔහු පෙන්වා දෙන්නේ පසුගිය වසරේ එම කාල සීමාව තුළ මේ හරහා උපයා ඇති ලාභය වන මිලියන 194 හා සැසදීමේ දී මෙය මිලියන 373ක එනම් 38%ක වර්ධනයක් බවයි.

    මේ පිළිබඳව වැඩි දුරටත් පැහැදිලි කරමින් නෙළුම් කුලුන ව්‍යාපෘතියෙහි සභාපති ශිරන්ත පීරිස් මහතා පවසා සිටියේ ඉදිරියේ දී මිලියන 1000ක් දක්වා මෙහි ලාභය වර්ධනය කර ගැනීම ඉදිරි සැලසුම් හමුවේ ඉතාමත් පහසු කාර්යයක් වනු ඇති බවයි.

    මේ අතර නෙළුම් කුලුනෙහි 2026 වසර සඳහා වන සැලසුම් පිළිබඳව දැනුවත් කරමින් සභහපතිවරයා වැඩි දුරටත් පවසා සිටියේ නෙළුම් කුලුන ශ්‍රී ලංකාවෙහි ත්‍රාසජනක ක්‍රීඩා සඳහා වන කේන්ද්‍රස්ථානය බවට පත් කිරීමට කටයුතු කරන බවයි.

    ඊට සමගාමීව ලබන වසර වන විට Bungee Jumping වැඩසටහනක් දියත්කිරීමට සැලසුම් කර ඇති බව ද එහි දී ඔහු පවසා සිටියේ ය.

    කොළඹ නෙළුම් කුලුන සහ සිංගප්පූරු ගෝ බංජි සමාගම අතර මින් පෙර ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට බංජි පැනීම ආරම්භ කිරීම සඳහා ගිවිසුමක් අත්සන් කළ අතර, එය දියත්කිරීමෙන් පසු නෙළුම් කුලුන ලොව උසම බංජි පැනීමේ ස්ථානය බවට පත්වනු ඇත.