November, 24, 2014
රටේ මතුව තිබෙන දේශපාලන වාතාවරණය හමුවේ ආයෝජකයින් කැළඹීමකට පත්වීම හේතුවෙන් අදත් කොළඹ කොටස් වෙළඳ පොළ ගනුදෙනුවල කැපී පෙනෙන කඩා වැටීමක් සිදුවිය.
සමස්ත මිල දර්ශකය අද උදෑසන ඒකක 226 කින් පමණ පහත වැටුණු නමුත් දිනයේ ගනුදෙනු අවසානයේදී පහත වැටුණු ප්රමාණය ඒකක 166.37 ක් දක්වා යම් අඩුවීමක් දකින්නට ලැබුණි.
මේ අනුව, දිනයේ ගනුදෙනු අවසානයේදී සමස්ත මිල දර්ශකය සියයට 2.25 කින් පහළ ගොස් ඒකක 7,235.25 ක්වූ අතර එස් ඇන්ඩ් පී මිල දර්ශකය සියයට 1.99 කින් පහළ ගොස් ඒකක 4,044.94 ක් වූයේ පසුගිය මාස 15 ක කාලය තුළදී සමස්ත මිල දර්ශකය දිනක් තුළ පහළ ගිය වැඩිම අවස්ථාව අද සටහන් කරමිනි.
දිනයේ පිරිවැටුම රුපියල් බිලියන 1.7 ක් වෙද්දී කොටස් මිලියන 102 ක් ගනුදෙනු වී ඇත.
අද දිනයේදී ජෝන් කීල්ස්, කාර්සන් කම්බබැච්, ඩයලොග් ආසිආටා, නෙස්ලේ ලංකා කොටස් මිල පහළ වැටුණි.
මේ අතර, විදේශීය ආයෝජකයින් රුපියල් මිලියන 100 ක් වටිනා ශුද්ධ කොටස් මිලදී ගැනීමක් කර තිබීමද කැපී පෙනේ.
විශ්ලේෂකයින් පවසන්නේ ජනාධිපතිවරණයට අදාළව මතුව තිබෙන දේශපාලන වාතාවරණය හමුවේ ආයෝජකයින් දැඩි විමසිලිමත් ස්වභාවයක් ගැනීම නිසා කොටස් වෙළඳ පොළ ගනුදෙනුවල පහළ වැටීමක් සිදුව තිබෙන බවයි.
දේශපාලන කරුණු සම්බන්ධයෙන් ආයෝජකයින් ඉතාමත් සංවේදී වේ.
ජනාධිපතිවරණය ජනවාරි 08 වනදා පැවැත්වෙන අතර ආණ්ඩුවෙන් විපක්ෂයටත් විපක්ෂයෙන් ආණ්ඩුවටත් ඇතැම් පිරිස් පිල් මාරු කරණු ඇතැයි කටකතා පැතිරී යයි.
Video Story