August, 13, 2025
2025 වසරේ ගත වූ පලමු මාස 7ක කාලය තුළදී 173,189 දෙනකු රැකියා සඳහා විදේශ ගතවි ඇති අතර, ඊට පිරිමි ශ්‍රමිකයින් 106,229 හා කාන්තා ශ්‍රමිකයින් 66,960 දෙනෙකු අයත් බව වාර්තා වෙයි.
ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙන්නේ එම කාල සීමාව තුළ ඇමරිකානු ඩොලර් බිලියන 4.43 ක විදෙස් ශ්‍රමික ප්‍රේෂණ මෙරටට ලැබී ඇති බවයි.
තව ද ජනවාරි සිට ජූලි දක්වා ගතවූ මාස 7ක කාලය තුළ වාර්තා වූ ඉහළම විගමණික ශ්‍රමික ප්‍රේෂණ ප්‍රමාණය වාර්තා කරමින් ජූලි මාසය තුළදී ඇමරිකානු ඩොලර් මිලියන 697.3 ක් විදෙස් රැකියාවෙහි නිරත ශ්‍රි ලාංකිකයින් විසින් මෙරටට එවා ඇති බව ද ශ්‍රි ලංකා මහ බැංකු දත්ත වාර්තා පෙන්වා දෙයි.
එය 2024 වර්ෂයේ වාර්තා වූ ඇමරිකානු ඩොලර් මිලියන 566.8 ක ප්‍රේෂණ ප්‍රමාණයට සාපේක්ෂව 19.5% ක වර්ධනයකි.
මේ අතර 2025 වසර තුළදි ඇමරිකානු ඩොලර් බිලියන 7ක විගමණික ශ්‍රමික ප්‍රේෂණ ප්‍රමාණයක් මෙරටට ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ මහතා පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ ගුණාත්මක තත්ත්වයෙන් යුතු පුහුණු ශ්‍රමිකයින් රැකියා සඳහා විදේශ ගතකිරීමට කාර්යාංශය පියවර රැසක් ගෙන ඇති බවත්, 2025 වර්ෂය තුළදී ශ්‍රි ලාංකිකයින් ලක්ෂ 3ක් රැකියා සඳහා විදේශ ගතවනු ඇතැයි අපේක්ෂා කරන බවත් ය.
එසේම ශ්‍රි ලංකා රජය, වෙනත් රටවල් සමග ඇති කරගත් අවබෝධතා ගිවිසුම අනුව ජපානය, දකුණු කොරියාව හා ඊශ්‍රායලය යන රටවලට ශ්‍රි ලාංකිකයින් යොමු කරන අතර විදේශ රැකියා ලබාදීමේ කාර්යය සඳහා බලපත්‍රලාභී රැකියා නියෝජිතායතන හා රැකියා සඳහා යොමුවන ශ්‍රි ලාංකිකයින්ගේ කැපවීම ඉතාමත් අගය කරන බව ද සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
Video Story