මැක්සන්ස් නව මුලපිරීමට BOI අනුමැතිය 

    December, 20, 2024

    නිෂ්පාදන කේෂ්ත්‍රයේ කීර්තිමත් සමාගමක් වන මැක්සන්ස් සමාගම ඔවුන්ගේ මැක්ස්න්ස් හෝල්ඩින් අනුබද්ධ සමාගම යටතේ ඛනිජමය හා පොලිමර් නිෂ්පාදනය සදහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අනුමැතිය ලබා ගනි.

    ඒ අනුව ඇමරිකානු ඩොලර් මිලියන 17ක වටිනාකමින් යුතු ආයෝජන ගිවිසුම සදහා අත්සන් තැබීම කොළඹ ලෝක වෙළද මධ්‍යස්ථානයේ පිහිටි ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේදී සිදු කෙරිණි.

    ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය වෙනුවෙන් සභාපති අර්ජුන හේරත්,අධ්‍යක්ෂ ජනරාල් රේණුකා වීරකෝන් යන මහත්ම මහත්මීන්ද මැක්ස්න්ස් හෝල්ඩින් සමාගම වෙනුවෙන් කළමණාකාර අධ්‍යක්ෂ මිස්වර් මකින් ( Mizver Makeen) යන මහත්වරු ගිවිසුමට අත්සන් තැබූහ.

    නව ව්‍යාපෘතිය අනුව දේශීය වශයෙන් ලබා ගන්නා ඛනිජවල වටිනාකම ඉහළ නැංවිය හැකි තාක්ෂණයෙන් උසස් කර්මාන්ත ශාලාවක් බණ්ඩාරගම මිල්ලනිය ප්‍රදේශයේ ස්ථාපිත කරයි.නව ව්‍යාපෘතිය අනුව ඛනිජමය කේෂ්ත්‍රයේ ඉහල තාක්ෂණය මෙරටට ලැබෙනු ඇත.

    මෙම කර්මාන්ත ශාලාවේදී දේශීය වශයෙන් ලබාගන්නා අමුද්‍රව්‍ය අති සියුම් කැල්සියම් කාබනේට් සහ ඩොලමයිට් කුඩු (ultra-fine ground calcium carbonate (GCC) and dolomite powders) නිෂ්පාදනය කළ හැක. ද්‍රාවක මත පදනම් වූ දුම්මල සහ ජලය මත පදනම් වූ බන්ධන ද නිෂ්පාදනය කරනු ඇත.මෙම නිෂ්පාදන ආලේපන, පිඟන් මැටි භාණ්ඩ, ගොඩනැගිලි ද්‍රව්‍ය සහ අනෙකුත් ආශ්‍රිත කර්මාන්ත ඇතුළු විවිධ කර්මාන්ත සඳහා සපයනු ඇත.

    අක්කර 15ක භූමි භාගයක විහිදෙන යෝජිත නිෂ්පාදන කම්හලෙහි මෙම උසස් තත්ත්වයේ ද්‍රව්‍ය කාර්යක්ෂමව නිෂ්පාදනය කිරීම අපේක්ෂාවයි.මෙම නිෂ්පාදන දේශීය වෙළඳපොළට සහ වක්‍ර අපනයන අංශයට සේවය කිරීම අරමුණු කරයි.නිෂ්පාදන ආරම්භ කිරීමත් සමග මෙම අමුද්‍රව්‍ය මිළදී ගැනීම වෙනුවෙන් රටෙන් පිටවන විදේශ විනිමය සැලකිය යුතු ලෙස අඩු කිරීමට හැකි වනු ඇත.