June, 27, 2016
ජනතාවට විශ්වසනීයත්වයෙන් යුතුව මැණික් හා ස්වර්ණාභරණ ලබාගැනීමට අවස්ථාව ලබාදෙමින් නියම ප‍්‍රමිතිය පරීක්ෂා කිරීම සඳහා නිසි වැඩපිළිවෙළක් සකස් කරන ලෙස ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපතිවරයාට උපදෙස් ලබාදුන්නේය.
ජනාධිපතිතුමා මෙම උපදෙස් ලබාදෙනු ලැබුවේ පසුගියද සෙනසුරාදා (25) පස්වරුවේ ගාල්ලේ පිහිටුවන ලද ස්වර්ණාභරණ හා මැණික් පරීක්ෂා කිරීමේ රසායනාගාරය විවෘත කිරීමේ උත්සවයට එක්වෙමිනි.
ගාලූ දිස්ත‍්‍රික්ක ජනතාවගෙන් දශක දෙකකට වැඩි කාලයක් පුරාවට පැවති ඉල්ලීමක් මත ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි මෙම රසායනාගාරය ගාල්ලේ ඉදිකෙරුණු අතර ඉදිරියේදී නුවර සහ යාපන ප‍්‍රදේශයන්හි දී ද මෙවැනි රසායනාගාර ස්ථාපිත කිරීමට නියමිතය.
ශ‍්‍රී ලාංකීය මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තයට නව තාක්ෂණය හා රජයේ විශ්වසනීයත්වය තහවුරු කිරීමේ අරමුණෙන් මෙම රසායනාගාර ස්ථාපිත කරනු ලබන්නේය.
මෙහිදී ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති අසංක වෙලගෙදර මහතා අතින් ජනාධිපතිතුමා වෙත සමරු තිලිණයක් පිරිනැමනු ලැබූ අතර අනතුරුව ජනාධිපතිතුමා රසායනාගාර කටයුතු පිළිබඳව නිරීක්ෂණය කළේය.
මෙම අවස්ථාවට අමාත්‍යවරුන් වන වජිර අබේවර්ධන, ගයන්ත කරුණාතිලක, නියෝජ්‍ය අමාත්‍ය මනූෂ නානයක්කාර සහ ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති අසංක වෙලගෙදර ඇතුළු පිරිසක් සහභාගී වූහ.