මැතිවරණ සමයේ මුදල් සංසරණය වැඩිවෙලා – මහ බැංකුවේ වාර්තාවක් කියයි

    February, 11, 2025

    සංසරණයෙහි පවතින ව්‍යවහාර මුදල් ප්‍රමාණය ද්‍රවශීලතාව සඳහා දායක වන ප්‍රධාන සාධකයක් වන අතර එය 2024 දී සැලකිය යුතු ලෙස වර්ධනය වී ඇති ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

    උත්සව සමයට අදාළව 2024 මාර්තු මාසයේ සිට රු. බිලියන 163 ක පමණ ව්‍යවහාර මුදල් ප්‍රමාණයක්, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් වෙළෙඳපොළ වෙත නිකුත් කරන ලද අතර, එයින් රු. බිලියන 87.8ක් පමණ 2024 අප්‍රේල් මස අවසානය වන විට නැවත මහ බැංකුව වෙත ආපසු ලැබී ඇත.

    2024 දෙසැම්බර් - වෙළෙඳපොළ මෙහෙයුම් වාර්තාව ප්‍රකාශයට පත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව මේ බව සඳහන් කරයි. එහි වැඩිදුරටත් මෙසේ සඳහන් වේ.

    මැතිවරණ සමය ආරම්භ වීම හේතුවෙන් 2024 සැප්තැම්බර් මස ආරම්භයේ සිට ව්‍යවහාර මුදල් සංසරණයෙහි ටම් ඉහළ යෑමක් දක්නට ලැබුණි. තවද, සංසරණයෙහි පවතින ව්‍යවහාර මුදල් ප්‍රමාණයේ වැඩිවීම, මහජනතාව මුදල් ළඟ තබා ගැනීම කෙරෙහි දක්වන කැමැත්ත ඉහළ යෑම පිළිබිඹු කරනු ලබන අතර, බදු ඉහළ යෑමට ප්‍රතිචාර ලෙස සහ තැන්පතු පොලී අනුපාතික අඩු මට්ටමක පැවතීම හමුවේ මුදල් ළඟ තබා ගැනීමේ ආවස්ථික පිරිවැය අඩුවීම මෙන්ම ආර්ථිකයේ මුදල් පදනම් කරගත් ගනුදෙනු වර්ධනය වීම, මේ සඳහා හේතු වූවා විය හැකිය. උත්සව සමයේ ඉල්ලුම ඉහළ යෑම හේතුවෙන් සංසරණයෙහි පවතින ව්‍යවහාර මුදල් ශුද්ධ වශයෙන් 2024 වසරේ දෙසැම්බර් මාසය අගදී රුපියල් බිලියන 46.5කින් පමණ ඉහළ ගියේය.

    මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුව 2024 වසරේ සංචිත මුදල් ඉහළ යෑම සම්බන්ධයෙන් ද මෙහිදී සටහනක් තබා ඇත.

    ආර්ථිකයෙහි මුදල් පදනම වන සංචාත මුදල් 2024 වසරේ දී මධ්‍යස්ථ වර්ධනයක් වාර්තා කළේය. ඒ අනුව, 2023 වසරේ දෙසැම්බර් මාසය අවසානය වන විට සංචිත මුදල් රු. බිලියන 1,328.7 ක්වූ අතර, එය 2024 වසරේ දෙසැම්බර් මාසය අවසානය වන විට රු. බිලියන 1,539.3 ක් දක්වා ඉහළ ගියේය. සංසරණයෙහි පවතින ව්‍යවහාර මුදල් ප්‍රමාණය ඉහළ යෑම, ඒ සඳහා ප්‍රධාන වශයෙන් හේතු විය.

    Video Story

    Stock Market

    Exchange Rates