March, 12, 2026
මැදපෙරදිග කලාපයේ පවතින ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් අපනයන සමාගම් මුහුණ දෙන ගැටලු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් විශේෂ හමුවක් පවත්වන ලදී. අපනයන කටයුතු බාධාවකින් තොරව පවත්වාගෙන යාම සහතික කිරීම සඳහා අපනයන සංවර්ධන මණ්ඩලය සහ අනෙකුත් අදාළ ආයතන හරහා ලබා දිය හැකි සහයෝගය සහ සහන හඳුනා ගැනීම මෙම සාකච්ඡාවේ ප්‍රධාන අරමුණ විය.
තේ, කුළුබඩු, පලතුරු සහ එළවළු, ආහාර පාන, පොල් ආශ්‍රිත නිෂ්පාදන සහ අනෙක් නිෂ්පාදන ආදිය පිළිබඳ විශේෂඥතාවක් ඇති අපනයන අංශයේ සංගම් ඇතුළු ප්‍රධාන අපනයන අංශ සංගම්වල නියෝජිතයෝ පිරිසක් මෙම රැස්වීමට සහභාගී වූහ.
ශ්‍රී ලංකා ආහාර සැකසුම්කරුවන්ගේ සංගමය (Sri Lanka Food Processors Association , කුළුබඩු සහ ආශ්‍රිත නිෂ්පාදන නිෂ්පාදකයින්ගේ සහ වෙළඳුන්ගේ සංගමය (Spices and Allied Products Producers and Traders Association , ලංකා පලතුරු සහ එළවළු නිෂ්පාදකයින්ගේ සැකසුම්කරුවන්ගේ සහ අපනයනකරුවන්ගේ සංගමය ( Lanka Fruit & Vegetable Producers Processors and Exporters Association) වැනි පෞද්ගලික අපනයන සංගම්, එමෙන්ම රජයේ ආයතන ලෙස ශ්‍රී ලංකා තේ මණ්ඩලය( Sri Lanka Tea Board ) සහ ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව (Department of Fisheries & Aquatic Resources) සමඟ එක්ව, අපනයන කර්මාන්තයේ ශක්තිමත්බව හා ආරක්ෂාව සුරක්ෂිත කිරීම සඳහා එකමුතුවෙන් ක්‍රියා කිරීමේ අවශ්‍යතාවය අවධාරණය කළහ.
මීට අමතරව, භාණ්ඩ ප්‍රවාහන හා සැපයුම් ක්ෂේත්‍රය නියෝජනය කරමින් ශ්‍රී ලංකා භාණ්ඩ ප්‍රවාහන සහ සැපයුම්කරුවන්ගේ සංගමය (Sri Lanka Freight Forwarders Association) සහ ලංකා නැව්ගත කිරීමේ නියෝජිතයින්ගේ සංගමය (Ceylon Association of Shipping Agents) ද මෙම සාකච්ඡාවට එක් විය.
පවතින කලාපීය අභියෝග හමුවේ අපනයනකරුවන්ට අවශ්‍ය උපරිම සහයෝගය ලබා දීම සඳහා ඒකාබද්ධ වැඩපිළිවෙලක් සකස් කිරීම අපනයන සංවර්ධන මණ්ඩලයේ අපේක්ෂාවයි. මෙහිදී ඉදිරිපත් වූ ගැටලු, ඉදිරියේදී පැවැත්වීමට නියමිත අපනයන සංවර්ධන අමාත්‍ය මණ්ඩලය (Export Development Council of Ministers - EDCM) වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
Video Story