මැදපෙරදිග අර්බුදය හේතුවෙන් ශ්‍රී ලංකාවේ අපනයනවලට 5%ක බලපෑමක්

    March, 26, 2026

    මේ වන විට උද්ගතව ඇති මැදපෙරදිග කලාපයේ අරබුදකාරී වාතාවරණය හමුවේ මාර්තු මාසයේ දී අපනයන කාර්යසාධනයට 5%ක පමණ බලපෑමක් එල්ල විය හැකි බවත්, එම බලපෑම සෙසු කලාප හරහා ආවරණය කර ගැනීමට බලාපොරොත්තු වන බවත් අපනයන සංවර්ධන මණ්ඩලයේ (EDB) සභාපති මංගල විජේසිංහ මහතා පවසයි. අද (26) පෙරවරුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී ඔහු මේ බව පැවසීය.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ මහතා,

    “අපි අපනයන සංවර්ධන මණ්ඩලය විදියට 2026 වසරේ අපේ ජාතික අපනයන සංවර්ධණ සැලැස්ම හරහා මෙවැනි ගැටළුකාරී තත්ත්වයක් ආවොත්, විශේෂයෙන්ම භාණ්ඩ විවිධාංගීකරණය කිරීමත්, වෙළෙඳපොළ විවිධාංගීකරණය කිරීමත් හරහා බලාපොරොත්තු තමයි තියෙන්නේ, 10% - 12%ක වර්ධනයක් තියාගන්න. වෙළෙඳපොළ විවිධාංගීකරණය ගත්තොත් අපි එක රටක් මත හෝ එක කලාපයක් මත පිහිටන්නේ නැතුව, අපනයන වෙළෙඳපොළ විවිධාංගීකරණය කිරීම ඉතා වැදගත් වෙනවා. ඒ වගේම භාණ්ඩ විවිධාංගීකරණය වැදගත්.“

    “අපගේ යවන භාණ්ඩ ප්‍රමාණය මැදපෙරදිග කලාපයට සමස්ත අපනයනයෙන් 8%ක ප්‍රමාණයක්. මේ වෙන කොට සමස්ත තේ අපනයනය, ගිය අවුරුද්දේ අපි ලබා ගත්තා ඇමරිකානු ඩොලර් 1,507ක් තේ අපනයනයෙන්, එහිදී මිලියන 562ක ප්‍රමාණයක් ගියේ මැදපෙරදිග කලාපයට. සමස්ත තේ අපනයනයෙන් 35%ක්. මුල් කාලයේ දී ගැටළුවක් ආවා, ෆල්යිට් වැඩකරන්නේ නැතුව, රක්ෂණ ගාස්තු, නැව් ගාස්තු වැඩිවීමේ ගැටළුවක් ආවා. මේ ආශ්‍රිතව සාකච්ඡා වට දෙකක් අපි තිබ්බා මැදපෙරදිග කලාපයේ සියලුම තානාපතිවරුන් සමග, එහිදී ඔවුන්ගේ ඉල්ලීම තිබුණේ, ලංකාවේ භාණ්ඩ සඳහා තිබෙන ඉල්ලුම තවමත් අඩුවෙලා නැහැ.  ඉල්ලුම වැඩිවීමක් තියෙනවා. පුළුවන් තරම් ඉක්මනින් භාණ්ඩ එවන්න කියන එක. මේ වෙන කොට අපේ අපනයනකරුවන් මුල් සති දෙකට සාපෙක්ෂව යම්කිසි ප්‍රමාණයකින් ඒ රටවලට භාණ්ඩ අපනයනය කරනවා. හැබැයි මාර්තු මාසයේ දී මැදපෙරදිග කලාපය නිසා සමස්ත අපනයනයට 5%ක පමණ බලපෑමක් එල්ල විය හැකියි. ඒ බලපෑම අපගේ අනෙකුත් කලාප හරහා අපිට ආවරණය කරගන්න තමයි බලාපොරොත්තු වෙන්නේ.“