මැදපෙරදිග යුද්ධයෙන් කොළඹ කොටස් වෙළෙඳපොළට රු. ට්‍රිලියනයකට වඩා දැනටමත් අහිමිවෙලා

    March, 19, 2026

    සමස්ත පෙරදිග කලාපය පමණක් අනතුරේ හෙළා නොව, ගෝලීය බලශක්ති අර්බුදයක් ද නිර්මාණය කරමින්, ඇමරිකා එක්සත් ජනපදය හා ඊශ්‍රායලය එක්ව ඉරානය වෙත ප්‍රහාර දියත් කිරීම ආරම්භ කරන ලද්දේ පසුගිය පෙබරවාරි 28 වනදාය. විස්මයජනක ප්‍රහාරයකින් අනතුරුව ආරම්භක දිනයේ දීම ඉරාන අධ්‍යාත්මික නායක අයතුල්ලා අලි කමේනි ඇතුළ එරට ඉහළ පෙළේ දේශපාලන හා හමුදා නායකයින් කිහිප දෙනෙකුම ඝාතනය කරමින් ඇරඹි මෙම යුද්ධය,  එක්සත් අරාබි එමීර් රාජ්‍යය, සෞදි අරාබිය, කටාර් ඇතුළු මැදපෙරදිග රටවල් ගණනාවක් මේ වන විට එහි වින්දිතයන් බවට පත් කර තිබේ.

    මේ අතර ලොව පුරා මූල්‍ය වෙළෙඳපොළ වෙත මෙම යුද්ධයේ බලපෑම සෘජුව එල්ල වි ඇත්තේ ගෝලීය බොරතෙල් මිල ගණන් දෛනිකව ඉහළ උච්ඡාවචනයන්ට භාජනය වන පසුබිමක් තුළය.

    මේ අතර ගෝලීය උච්ඡාවචනයන්ට අධිසංවේදී මෙරට කොටස් වෙළෙඳපොළ ද මෙම වකවානුව තුළ දරාගත නොහැකි මට්ටමේ කඩාවැටීමකට භාජනය වී ඇත.

    පසුගිය පෙබරවාරි මාසයේ අවසන් ගනුදෙනු දිනය වූ 2026 පෙබරවාරි 27 දින කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු අවසානයේ දී වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය රු. 8,411,382,637,987 ක් ලෙසිනි. එනම් රු. ට්‍රිලියන 8.41 ක් ලෙසින් සටහන් ව තිබුණි.

    වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය යනු කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත කර ඇති සියලු සමාගම්වල තනි තනි වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණ අගයයන්ගේ එකතුවයි. සමාගමක වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය ගණනය කරනුයේ සමාගමේ නිකුත් කරන ලද කොටස් ප්‍රමාණය, එම සමාගමෙහි කොටසක වෙළෙඳපොළ මිලෙහි ගුණිතයක් ලෙස ගැනීමෙනි. නිකුත් කරන ලද කොටස් ප්‍රමාණය වෙනස් නොවන විට සමාගමේ කොටස් මිල උච්ඡාවචනය වන අවස්ථාවේ දී එම සමාගමේ වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය ද ඉහළ පහළ යනු ඇත.

    මේ අතර ඊයේ (18) දිනය වන විට කොළඹ කොටස් වෙළෙඳපොළ සමස්ත ප්‍රාග්ධනීකරණ අගය රු. 7,363,120,126,946.20ක් එනම් රු. ට්‍රිලියන 7.36ක් දක්වා අඩු වී තිබෙනු නිරීක්ෂණය කළ හැකිවිය.

    මේ අනුව මැදපෙරදිග යුද්ධය නිල වශයෙන් ආරම්භ වූ 2026 පෙබරවාරි 28 දින සිට 2026 මාර්තු 18 දින දක්වා කාලපරිච්ඡේදය තුළ දී කොළඹ කොටස් වෙළෙඳපොළෙන් ගිලිහී ඇති සමස්ත වටිනාකම රු. ට්‍රිලියන 1.14ක් ලෙසින් ගණනය කළ හැකිය.

    තවද මෙම වකවානුව තුළ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 23,734.06 සිට ඒකක 20,640.63 ක් දක්වා ඒකක 3,093.43කින් පහළ ගොස් තිබේ. එනම් එය 13%ක කඩාවැටීමකි.