March, 6, 2026
මැදපෙරදිග කලාපයේ සිදුවෙමින් පවතින යුධමය ගැටුම් හේතුවෙන් ශ්‍රී ලංකාවේ තේ අපනයන කර්මාන්තයට දැඩි බලපෑම් එල්ල වී ඇති අතර සතියකට ඇමෙරිකානු ඩොලර් මිලියන 10 සිට 15 දක්වා ආදායම් අහිමි වීමක් සිදුවිය හැකි බව තේ අපනයනකරුවෝ පවසති.
ඔවුන් සඳහන් කරන්නේ මැදපෙරදිග වෙළඳපොළට යැවීමට ඇණවුම් ලැබී තිබුණද යුධ අවදානම් සහ නාවික ප්‍රවාහන ගැටලු හේතුවෙන් ඒවා සැපයීමට නොහැකි තත්ත්වයක් ඇතිව ඇති බවයි.
ශ්‍රී ලංකාවේ සමස්ත තේ අපනයනවලින් සෙසු සියයට 52කට ආසන්න ප්‍රමාණයක් මැදපෙරදිග වෙළඳපොළට යන අතර එය ප්‍රධාන වශයෙන් පහත රට කුඩා තේ වගාකරුවන්ගේ නිෂ්පාදනයන් වේ. 2025 වසරේදී පමණක් ශ්‍රී ලංකාව මැදපෙරදිගට කිලෝග්‍රෑම් මිලියන 125ක් පමණ තේ අපනයනය කර ඇති අතර එහි වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 750කට ආසන්නය.
කෙසේ වෙතත් යුධ අවදානම් හේතුවෙන් ප්‍රධාන නාවික සමාගම් කලාපයට සේවා අත්හිටුවීම, නැව් ගාස්තු ඉහළ යාම සහ රක්ෂණ ආවරණ වලංගු නොවීම නිසා තේ අපනයන කටයුතු දැඩි ලෙස බාධා වී ඇති බව සඳහන් වේ.
මෙම තත්ත්වය දිගටම පැවතිහොත් තේ වෙන්දේසි වෙළඳපොළටද බලපෑම් එල්ල විය හැකි අතර එය කුඩා තේ වගාකරුවන්ගේ ආදායමට සෘජුවම බලපානු ඇතැයි කර්මාන්තය අනතුරු අඟවයි.
Video Story