මැදපෙරදිග යුද ගැටුම් හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට බලපෑම් එල්ල විය හැකි ආකාරය ගැන IMF වෙතින් පුරෝකථනයක්

    March, 20, 2026

    මැදපෙරදිග අර්බුදය හේතුවෙන් විදෙස් ශ්‍රමික ප්‍රේෂණ ගලා ඒම් සම්බන්ධයෙන් හා සංචාරක කර්මාන්තය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ආර්ථිකය ගැටළුකාරීත්වයකට මුහුණ දෙනු ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි. එහි සන්නිවේදන අධ්‍යක්ෂිකා ජුලී කොසැක් පවසා සිටියේ 5% ක ආර්ථික වර්ධනයක් 2025 වසරේ දී අත්පත් කරගනිමින් උද්ධමනය පෙබරවාරි මාසයේ දී 1.6%ක මට්ටමක් තුළ තබා ගැනීමට සමත්වීම හරහා ශ්‍රී ලංකා ආර්ථිකය යහපත් මට්ටමකට පැමිණ ඇති බවයි. කෙසේවෙතත් මැදපෙරදිග අර්බුදය හරහා ශ්‍රී ලංකා ආර්ථිකය බලපෑමට ලක්විය හැකි ආකාරය ඇය මෙහිදී පෙන්වා දුන්නාය.

    “ශ්‍රී ලංකාවේ ආර්ථිකය සාපේක්ෂව ශක්තිමත් ලෙස මේ වන විට වර්ධනය වෙමින් පවතිනවා. 2025 දී එය සියයට 5ක වර්ධනයක් අත්පත් කර ගන්නට සමත්වුණා. පෙබරවාරි මාසයේදී උද්ධමනය සියයට 1.6 ක් පමණ. ණය ප්‍රතිව්‍යුහගත කිරීම බොහෝ දුරට සම්පූර්ණ වී තිබෙනවා. විදෙස් සංචිත සැලකිය යුතු ලෙස වැඩි වෙමින් පවතිනවා.කෙසේවෙතත් මැදපෙරදිග අර්බුදය හේතුවෙන් ශ්‍රී ලංකාවට ගලා එන ප්‍රේෂණ සහ සංචාරක කර්මාන්තයට අභියෝගයක් එල්ල විය හැකියි.“

    මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සන්නිවේදන අධ්‍යක්ෂවරිය වැඩිදුරටත් මෙහිදී පැවසුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කණ්ඩායමක් එළඹෙන සතියේ දී මෙරට සංචාරය කිරීමට නියමිත බවයි. එහිදී ශ්‍රී ලංකාව සම්බන්ධ වැඩසටහනට අදාළ පස්වන සහ හයවන සමාලෝචන ඒකාබද්ධ කරමින් සම්පූර්ණ කිරීමට බලාපොරොත්තු වන බව ද ඇය අනාවරණය කර සිටියාය.

    “IMF කණ්ඩායමක් මාර්තු 26 සිට අප්‍රේල් 9 දක්වා ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිතයි. එහිදී ශ්‍රී ලංකාව සම්බන්ධ වැඩසටහන යටතේ පස්වන සහ හයවන ඒකාබද්ධ සමාලෝචනයක් සම්පූර්ණ කිරීම අරමුණ වනු ඇත. තවද, පැහැදිලිවම, එම සාකච්ඡාවල කොටසක් ලෙස, මැදපෙරදිග ගැටුම ශ්‍රී ලංකාවේ ආර්ථිකයට ඇති කළ හැකි බලපෑම වඩා හොඳින් අවබෝධ කර ගැනීම සඳහා කණ්ඩායම බලධාරීන් සමඟ සම්බන්ධ වනු ඇත. තවද, ඔවුන් නැවත පැමිණෙන විට, කණ්ඩායමට පැහැදිලිවම ශ්‍රී ලංකාවේ ආර්ථිකය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ශ්‍රී ලංකාවට සහාය වීම සඳහා හොඳම සහාය ලබා දිය හැකි ආකාරය පිළිබඳ යාවත්කාලීන තක්සේරුවක් ලැබෙනු ඇත.“