මැදපෙරදිග යුධ උණුසුම මැද ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයත් දැඩි අවදානමක‍

    March, 3, 2026

    මැදපෙරදිග ගුවන් අවකාශ රැසක් මේ වන විටත් වසා දමා ඇති පසුබිමක ලොව පුරා ගුවන් සේවා රැසක් සිය ගමන් වාර ගණනාවක් මේ වන විට අවලංගු කර තිබේ.

    ශ්‍රී ලංකාවේ වරාය හා ගුවන්තොටුපළ අමාත්‍ය අනුර කරුණාතිලක මහතා සඳහන් කළේ මේ හේතුවෙන් ඊයේ (02) වන විට ශ්‍රී ලංකාව පදනම් කරගනිමින් ක්‍රියාත්මක කිරීමට තිබූ ගුවන් ගමන් වාර 125ක් අත්හිටුවා ඇති බවයි.

    විශේෂයෙන්ම ඩුබායි වැනි කාර්යබහුල ගුවන්තොටුපළක් වසා දැමීම සමස්ත කලාපයටම ඇති කරනුයේ දැඩි බලපෑමකි.

    මේ හේතුවෙන් ක්‍රමිකව වර්ධනය වෙමින් පැවති ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ද මේ වන විට සෘජු බලපෑමට ලක්ව තිබේ.

    ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් නිකුත් කරන ලද නවතම දත්තවලට අනුව 2026 පෙබරවාරි මාසයේ 01 සිට 25 දක්වා කාලය තුළ දී විදෙස් සංචාරකයින් 253,293ක් මෙරටට පැමිණ තිබුණි. එය මෙතෙක් ඉතිහාසයේ පෙබරවාරි මාසයක් තුළ ශ්‍රී ලංකාවට පැමිණ ඇති වැඩිම සංචාරකයින් ප්‍රමාණය වේ. ඉන්දියා - පාකිස්තාන තරගය ඇතුළු 2026 විස්සයි 20 ලෝක කුසලානයේ තරග කිහිපයක් මෙම වකවානුව තුළ දී ශ්‍රී ලංකාවේ පැවැත්වීම හරහා මෙරට සංචාරක පැමිණීම් සංඛ්‍යාලේඛන ඉහළ නැංවීමට අතිරේක දායකත්වයක් ලැබීම විශේෂයෙන් මෙහි දී සඳහන් කළ යුතුය.

    2026 පෙබරවාරි 25 දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් ප්‍රමාණය 530,620ක් වන අතර ඉන්දියාවට (93,847) පසුව වැඩි වශයෙන් යුරෝපාකරයේ සංචාරකයින් එහිදී පැමිණ තිබීම විශේෂත්වයකි. ඒ එක්සත් රාජධානියෙන් 57,762ක්, රුසියාවෙන් 48,312ක්, ජර්මනියෙන් 37,590ක්, ප්‍රංශයෙන් 29,373ක් යනාදී ලෙසිනි.

    මේ අතර විශ්ලේෂකයින් සඳහන් කරන්නේ ශීත සෘතුවේ අවසාන භාගයේ දී ශ්‍රී ලංකාවට පැමිණෙතැයි අපේක්ෂා කළ සංචාරකයින් සංඛ්‍යාවේ සැලකිය යුතු පහළ යාමක් මැදපෙරදිග යුධමය වාතාවරණය හමුවේ බලාපොරොත්තු වීමට සිදුවන බවයි.

    ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ දත්ත වාර්තාවලට අනුව 2018 මාර්තු මාසයේ දී විදෙස් සංචාරකයින් 233,382 ක් හා 2025 මාර්තු මාසයේ දී 229,298ක් ශ්‍රී ලංකාවට පැමිණ තිබේ. පවතින මැදපෙරදිග යුධ උණුසුම සති කිහිපයක් දක්වා දීර්ඝ වුවහොත් විශ්ලේෂකයින්ගේ අදහස වී ඇත්තේ මාර්තු මාසයේ දෙලක්ෂයක සංචාරක පැමිණීමේ ඉලක්කයක් සාක්ෂාත් කර ගැනීම අසීරු කටයුත්තක් වනු ඇති බවයි.