March, 16, 2026
මැදපෙරදිග පවතින් යුධමය තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින්ගේ 25%ත් 30%ත් අතර අඩුවක් දක්නට ලැබෙන බව සංචාරක නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ මහතා පවසයි.
ඔහු මේ බව පවසා සිටියේ අද(16) පෙරවරුවේ පැවති වැඩසටහනකට එක් වූ අවස්ථාවේ දී යි.
කෙසේ වෙතත් යුරෝපයෙන් මෙරටට පැමිණෙන සංචාරකයින්ගේ කිසියම් අඩුවක් දක්නට ලැබුන ද, ඔ්මානයේ මස්කට් හරහා, ඊජිප්තුවේ කයිරෝ හරහා, සෘජු ගුවන් ගමන් හරහා මෙන්ම මෙරට දැවැන්තම සංචාරක වෙළෙඳපොළ වන ඉන්දියාවෙන් සැලකිය යුතු සංචාරකයින් පිරිසක් පැමිණෙන බව ද, ඔහු පවසා සිටියේ ය.
"විශේෂයෙන් මැදපෙරදිග කියන්නේ යුරෝපයෙන් ශ්‍රී ලංකාවට සංචාරකයින් පැමිණෙනෙකොට transit point එකක් විදිහට පවතිනවා. ඒ වගේම විශේෂයෙන් Emirates, Etihad, සහ Qatar Airways වගේ ගුවන් සමාගම් ශ්‍රී ලංකාවට විශාල වශයෙන් සංචාරකයින් රැගෙන එන ගුවන් සමාගම්. ඉතින් ඒ නිසාම යුරෝපයෙන් ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින්ගේ යම් කිසි අඩුවක් අපි දකිනවා. නමුත් ඔ්මානයේ මස්කට් හරහා ඒ වගේම ඊජිප්තුවේ කයිරෝ හරහා සහ සෘජු ගුවන් ගමන්, ශ්‍රීලංකන් operate කරනවා Frankford වලට London වලට. ඉතින් මේ හරහා සංචාරකයින් පැමිණෙනවා. ඒ වගේම අපේ දැවැන්තම සංචාරක වෙළෙඳපොළ ඉන්දියාව. ඒ වගේම මේ රාමසාන් අවදිය නිසා විශේෂයෙන් මැදපෙරදිග සංචාරය කරන පිරිස ටිකක් අඩුයි මේ කාලේ. කෙසේ වෙතත් 25%ත් 30%ත් අතර සංචාරකයින්ගේ පැමිණීමේ අඩුවක් අපි දකිනවා පවතින මේ යුධමය තත්ත්වයත් එක්ක මැදපෙරදිග."
මේ අතර ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් නිකුත් කර ඇති නවතම සංඛ්‍යා ලේඛණ වලට අනුව පෙනී යන්නේ 2026 මාර්තු මාසයේ 11 වන දින දක්වා 623,651ක සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ ඇති බවයි.
මාර්තු මාසයේ පළමු දින 11 තුළ පමණක් පැමිණ ඇති සංචාරකයින් සංඛ්‍යාව දැක්වෙනුයේ 66,996ක් ලෙසයි.
ඒ අතරින් 24%ක එනම් 16,032ක සංචාරකයින් පිරිසක් ඉන්දියාවෙන් පැමිණ ඇති අතර රුසියාවෙන් 5,881ක්, එක්සත් රාජධානියෙන් 5,836ක් සහ ජර්මනියෙන් 5,597ක සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ ඇත.
Video Story