February, 2, 2026
පෑලියගොඩ මැනිං වෙළඳපොළේ දෛනික මූල්‍ය ගනුදෙනු වඩාත් විධිමත් කරමින් නාගරික සංවර්ධන අධිකාරිය මගින් හඳුන්වා දුන් නව මාර්ගගත ගෙවීම් පද්ධතිය (Online Payment System) අද (02) පෙරවරුවේ ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක සහ ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න, නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක කරන ලදී .
fmis.uda.lk වෙබ් ද්වාරය හරහා ක්‍රියාත්මක වන මෙම නවීන පද්ධතිය මගින් වෙළඳපොළේ සිටින ව්‍යාපාරික ප්‍රජාවට තමන්ගේ බදු මුදල් හා අනෙකුත් දෛනික ගෙවීම් ඉතා පහසුවෙන් තමන් සතු ජංගම දුරකථනය හරහා සිදු කිරීමට මින් ඉදිරියට අවස්ථාව සැලසේ.
මෙම අවස්ථාවට එක්වූ ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍යතුමා ප්‍රකාශ කළේ මෙරට තොග වෙළඳ ක්ෂේත්රයේ ප්‍රමුඛයා වන මැනිං වෙළඳපොළ මෙලෙස ඩිජිටල්කරණය වීම රජයේ ජාතික ඩිජිටල් පරිවර්තන උපාය මාර්ගයේ සුවිශේෂී ජයග්‍රහණයක් බවයි.
මුදල් රහිත ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීම තුළින් වෙළඳ ප්‍රජාවට සිය ව්‍යාපාරික කටයුතුවලදී කාලය ඉතිරි කර ගැනීමටත්, පෝලිම්වල රැඳී සිටීමේ පීඩාවෙන් මිදීමටත් හැකි වන අතරම ගෙවීම්වල විනිවිදභාවය හා මූල්‍ය ආරක්ෂාව උපරිම මට්ටමින් තහවුරු වන බව ද එතුමා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
මෙම අවස්ථාවේ විශේෂ අංගයක් ලෙස මැනිං වෙළඳපොළේ කඩ හිමියන් කිහිප දෙනෙකු විසින්ම සිය ජංගම දුරකථන භාවිත කරමින් නව පද්ධතිය හරහා සජීවීව ගෙවීම් කිරීම සිදුවිය.
නාගරික සංවර්ධන අධිකාරියේ තොරතුරු තාක්ෂණ අංශය විසින් නිර්මාණය කරන ලද මෙම ක්‍රමවේදය ඉදිරි කාලයේදී දිවයින පුරා පිහිටි අනෙකුත් ආර්ථික මධ්‍යස්ථාන වෙත ද ව්‍යාප්ත කිරීමට රජය සැලසුම් කර ඇත.
මෙම අවස්ථාවට නාගරික සංවර්ධන අධිකාරියේ සභාපතිතුමන් ඇතුළු ඩිජිටල් ආර්ථික අමාත්‍යංශයේ සහ ප්‍රවාහන අමාත්‍යංශයේ උසස් නිලධාරීන් රැසක් සහභාගී වූහ.
Video Story