මැලිබන් ලොවම දිනූ වගයි

    August, 28, 2019

    මැලිබන් බිස්කට්ස් (පුද්.) සමාගම තවත් සුවිශේෂී ජයග්‍රහණයක් වාර්තා කිරීමට මෑතකදී සමත් විය. පසුගියදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි හි ජුමෙරා එතිහාඞ් ටවර්ස් හෝටලයේදී පැවති  Global Performance Excellence  සම්මාන උළෙලේදී  (GPEA)  විශිෂ්ටතම ජාත්‍යන්තර සම්මානයක් දිනාගැනීමට එම සමාගමට හැකියාව ලැබිණි. 

    ආසියානු කලාපයේ ගෝලීය විශිෂ්ටත්ව ක්‍රියාකාරීත්වයන් ඇගයීමට ලක්කරන ප්‍රධානතම නිල ජාත්‍යන්තර සම්මාන වැඩසටහන මෙය වේ. ලාභ සඳහා නොවන සංවිධානයක් වන 
     Asia Pacific Quality Organization Inc. (APQO)     මගින් මෙය පරිපාලනය කරනු ලබයි. ජාත්‍යන්තර තලයේදී ව්‍යාපාරවල නිරන්තර දියුණුවට සහ තිරසාර සංවර්ධනයට අවශ්‍ය වන ක්‍රියාකාරීත්ව විශිෂ්ටත්වය සම්බන්ධ දැනුම ප්‍රවර්ධනය කිරීම මෙම වැඩසටහනේ ප්‍රධානතම ඉලක්කයකි. 

    මෙම ජයග්‍රහණය පිළිබඳව අදහස් දක්වමින් මැලිබන් සමාගමේ සමූහ ප්‍රධාන විධායක නිලධාරී රවි ජයවර්ධන මහතා මෙසේ පැවසී ය. “ලොව ප්‍රමුඛ පෙළේ සන්නාම අතර මෙසේ ඇගයීමට ලක්වීම අප ලද විශාල ගෞරවයක්. අප ප්‍රමිතිය උදෙසා දක්වන කැපවීම නැවත වරක් තහවුරු කරන්නක් ලෙස මෙම සම්මානය හැඳින්වීමට පුළුවන්. අඛණ්ඩව දෙවැනි වරටත් මෙම සම්මානය හිමි කරගැනීම සඳහා කැපවුණු සියලුම දෙනාට ස්තූතිය පළකිරීමට මා මෙය අවස්ථාවක් කරගන්නවා. වසර 60 කට අධික කාලයක් පුරා පාරිභෝගිකයන්ට විශිෂ්ටතම ප්‍රමිතියෙන් යුත් නිෂ්පාදන මෙන්ම නැවුම් අත්දැකීම් සම්භාරයක්ද තිළිණ කිරීමට හැකිවීම අපට විශාල සතුටක්. මේ ගමනේදී අප උසස්ම අමුද්‍රව්‍ය සහ නවීන නිෂ්පාදන ක්‍රියාවලි භාවිතා කරමින්, පාරිභෝගිකයන්ට ගුණාත්මක බවින් ඉහළ නිෂ්පාදන තිළිණ කරන අතරම තිරසාර ප්‍රගතියක් අත්පත් කරගැනීමට සමත් වීම නිසා අපට තුන් වරක්ම ජාතික ප්‍රමිති සම්මානයද 
     (National Quality Award) දිනාගැනීමටත් හැකියාව ලැබුණා.” 

    ජාත්‍යන්තර විනිශ්චය මණ්ඩලයක ඇගයීම් අනුව 
     GPEA  සම්මාන උළෙලේදී තරගකරුවන් අතරින් ජයග්‍රාහකයෝ තෝරා ගැනෙති. මෙය ජාතික මට්ටමේ ප්‍රමිති සම්මාන දිනූ සන්නාම වලට ජාත්‍යන්තර තලයේ ක්‍රියාකාරීත්ව මට්ටම් හඳුනාගෙන ඊට සමගාමීව අඛණ්ඩ දියුණුව කරා යාමට ලැබෙන මහඟු අවස්ථාවකි.  

    මැලිබන් බිස්කට්ස් සමාගමේ කළමණාකාර අධ්‍යක්ෂිකා කුමුදිකා ප්‍රනාන්දු මහත්මිය අදහස් දැක්වූයේ මෙසේ ය. “කොටහේනේ ප්‍රදේශයේ පිහිටා තිබූ ඒ. ජී. හින්නිඅප්පුහාමි මහතාගේ බේකරියෙන් ආරම්භ වූ මැලිබන්, එම යුගයේ පටන්ම නිෂ්පාදන වල උසස් ප්‍රමිතිය පවත්වා ගැනීම සඳහා විශේෂ උනන්දුවක් දැක්වූවා. ඒ වගේම අපගේ පර්යේෂණ හා සංවර්ධන කණ්ඩායම් වල උත්සාහය නිසා දේශීය හා ජාත්‍යන්තර තලයේ පාරිභෝගිකයන් සොයන එකිනෙකට වෙනස් රස වලට ගැළපෙන ආකාරයේ නිෂ්පාදන විශාල ප්‍රමාණයක් හඳුන්වා දීමට අපට හැකියාව ලැබී තිබෙනවා. මේ ගමනේදී උසස් ප්‍රමිතිය පවත්වා ගන්නා අතරම අපගේ මූලික වටිනාකම් ආරක්ෂා කරගනිමින්, ජාත්‍යන්තර තලයේදීද ඇගයීමට ලක්වෙමින්, ශ්‍රී ලංකාවේ බිස්කට් සන්නාම අතර ඉහළටම පැමිණීමට අපට හැකිවී ඇති බව කියන්නට පුළුවන්. සමාගමේ නිර්මාතෘවරුන් අනුගමනය කළ මූලධර්ම අනුව, සෑම විටම පාරිභෝගිකයන්ට උසස්ම ප්‍රමිතියෙන් යුත් නිෂ්පාදන පිරිනැමීමට අප සෑමවිටම කටයුතු කරන බවට මෙය ඉතා හොඳ සාක්ෂියක්.” 
     
    Asia Pacific Quality Organization Inc. හි සහ  Global Performance Excellence  සම්මාන වැඩසටහනේ සභාපති හර්නෙක් සිං මහතා මෙසේ සිය අදහස් පළකළේ ය. “සම්මානයක් යනු සමාගමක් සහ එහි කාර්ය මණ්ඩලය ඉටුකළ සාර්ථක මෙහෙවර ඇගයීමට ලක්කරන සංකේතයක්. මෙහිදී ඇගයීමට ලක්වන සමාගම්, පුද්ගලයන් සහ කණ්ඩායම් සියල්ල, අදාළ ක්ෂේත්‍ර වලට, රටවල් වලට සහ කලාප වලට උනන්දුව, කැපවීම, ඵලදායීතාව සහ ව්‍යාපාර විශිෂ්ටත්වය යනාදී අංශ රැසක් සම්බන්ධයෙන් ආදර්ශ සපයන බව කියන්නට පුළුවන්.” 

    ආරම්භයේ පටන්ම මැලිබන් සමාගම සිය නිෂ්පාදන ක්‍රියාවලියේදී ජාත්‍යන්තර තලයේ අමුද්‍රව්‍ය සහ අතිනවීන නිෂ්පාදන ක්‍රියාවලි භාවිතා කර තිබේ. නවීන තාක්ෂණය සමග ඉදිරියට යමින්, නිෂ්පාදන වල ප්‍රමිතිය සහ රසය වැඩිදියුණු කරමින් මැලිබන් බිස්කට් සමාගම මෙරට බිස්කට් වෙළඳපොළේ පෙරමුණ ගෙන සිටී. 

    Photo Caption :  මැලිබන් බිස්කට් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂිකා කුමුදිකා ප්‍රනාන්දු මහත්මිය
                      මැලිබන් බිස්කට් සමාගමේ සමූහ විධායක නිළධාරි අධ්‍යක්ෂ රවි ජයවර්ධන මහතා