July, 8, 2014
යතුරු පැදි එකලස් කිරීමේ කර්මාන්ත ශාලාවක් ලංකාවේ පිහිටුවීම සඳහා මැලේසියානු සමාගමක් මැලේසියානු රින්ගිට් මිලියන 20 ක මුදලක් ආයෝජනය කිරීමට යනබව වාර්තා වේ.
මැලේසියානු මාධ්‍ය වාර්තා කරන්නේ DNC Asiatic Holdings Sdn Bhd නැමති මෙම සමාගම මැලේසියානු-චීන ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස යතුරු පැදි එකලස් කිරීමේ ව්‍යාපාරික කටයුතු කරගෙන යන බවයි.
මෙම සමාගම 2012 වසරේදී ලංකාවේ මෙහෙයුම් කටයුතු ආරම්භ කර තිබෙන්නේ මෙරට යතුරු පැදි එකලස් කිරීමේ පළමු ව්‍යාපාරය ලෙස වන අතර මේ වනවිට නිෂ්පාදන කටයුතු කරන්නේ කල්බදු පහසුකම් මත ලබාගත් කර්මාන්ත ශාලාවක බව සඳහන්ය.
සමාගමේ සාමාන්‍යාධිකාරී, ලිම් බෝ හියොන්ග් සඳහන් කර තිබෙන්නේ කොළඹින් කිලෝ මීටර් 15 ක් දුරින් මෙම නව කර්මාන්ත ශාලාව ඉදිකරන බවත් එහි වසරකට යතුරු පැදි 80,000 ක් පමණ එකලස් කිරීමට සැලසුම් කර තිබෙන බවයි.
මෙහි ඉදිකිරීමේ කටයුතු තවත් මාස තුනකින් පමණ ආරම්භ කරන බවත් එහි පළමු අදියර වෙනුවෙන් මැලේසියානු රින්ගිට් මිලියන 10 ක් ආයෝජනය කරන බවත් වාර්තා වේ.
පළමු අදියරේ ඉදිකිරීම් වසරකින් අවසන් කිරීමට සැලසුම් කර ඇත.
Demak වෙළඳ නාමය යටතේ යතුරු පැදි එකලස් කරන මෙම සමාගම පවසා තිබෙන්නේ පසුගිය වසරේදී ලංකාවේ යතුරු පැදි 2000 ක් අලෙවිකළ බවත් මේ වසරේදී යතුරු පැදි 5000 ක් අලෙවි කිරීමට සැලසුම් කර තිබෙන බවයි.
සමාගම විසින් මෙරට වෙළඳ පොළේ Demak වෙළඳ නාමය යටතේ යතුරු පැදි මාදිලි 10 ක් පමණ අලෙවි කරන අතර එහි එන්ජින් ධාරිතාවය සී.සී. 80 සිට සී.සී. 200 ක් දක්වා විහිදේ.
මැලේසියාවේ මෙන් නොව ලංකාවේ ඛනිජ තෙල් මිල ඉහළ බැවින් ලාංකිකයින් වඩාත් කැමැත්තක් දක්වන්නේ හොඳින් ඉන්ධන කාර්යක්ෂමතාවය සහිත යතුරු පැදි මිලදීගැනීමට යැයි සමාගම සඳහන් කර තිබේ.
යතුරු පැදි වලට අමතරව ලංකාවට ත්‍රී රෝද රථද සමාගම විසින් ගොඩ නගමින් සිටින බව සඳහන්ය.
Video Story