මැස්ඩා වාහන ප්‍රවර්ධනය කිරීම සඳහා කොමර්ෂල් බැංකුව සහ කොලෝනියල් මෝටර්ස් වසරක හවුල්කාරිත්වයකට

    January, 7, 2026

    කොමර්ෂල් බැංකුව සහ ශ්‍රී ලංකාවේ මැස්ඩා මෝටර් රථ සඳහා බලයලත් නියෝජිතයා වන කොලෝනියල් මෝටර්ස් (සිලෝන්) ලිමිටඩ්, බැංකුවේ ලීසිං පහසුකම් හරහා මැස්ඩා වාහන මිලදී ගැනීම පහසු කිරීමට අවබෝධතා ගිවිසුමකට එළඹ ඇත.

    මෙම ගිවිසුම යටතේ දිවයින පුරා පිහිටි කොමර්ෂල් බැංකු ශාඛා ජාලය හරහා ආකර්ෂණීය පොලී අනුපාත සහ නම්‍යශීලී ලීසිං පහසුකම් ලබා දෙන අතර ගනුදෙනුකරුවන්ට තම ආදායම් රටාවන්ට ගැලපෙන ආපසු ගෙවීමේ සැලසුම් තෝරා ගැනීමේ අවස්ථාව හිමි වෙයි.

    2026 නොවැම්බර් 30 වන දින දක්වා ක්‍රියාත්මක මෙම ප්‍රවර්ධන කාල සීමාව තුළ මැස්ඩා ගැනුම්කරුවන් සඳහා කොලෝනියල් මෝටර්ස් වෙතින් සුවිශේෂී දීමනා රැසක් හිමි වන අතර ඕනෑම මැස්ඩා මාදිලියක් සඳහා රු. 150,000 ක විශේෂ වට්ටමක්, නොමිලේ වාහන ලියාපදිංචිය, සේවා ගාස්තු රහිත සේවා වාර හතක් සහ පළමු හිමිකරු සඳහා අමතර කොටස් වෙනුවෙන් 15% ක වට්ටමක් ලබාදීම මෙම දීමනා වලට ඇතුළත් වේ.

    ඇමරිකානු ඩොලර් බිලියන 1 කට අධික වෙළඳපල ප්‍රාග්ධනීකරණයක් සහිත ශ්‍රී ලංකාවේ පළමු බැංකුව වන කොමර්ෂල් බැංකුව ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පත්වු පළමු දේශීය බැංකුව මෙන්ම කොළඹ කොටස් වෙළඳපල බැංකු අංශයේ ඉහළම වෙළඳපල ප්‍රාග්ධනකරණයක් ඇති බැංකුව වේ. ශ්‍රී ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත්‍රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප්‍රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100% තුලනය කළ ප්‍රථම බැංකුව ද වේ.

    දිවයින පුරා උපායමාර්ගිකව පිහිටා ඇති ශාඛා සහ ස්වයංක්‍රීය යන්ත්‍ර ජාලයක් ක්‍රියාත්මක කරන අතර, බැංකුව බංග්ලාදේශයේ ශාඛා 20 ක්, මාලදිවයිනේ බහුතර කොටස් හිමිකාරිත්වයක් සහිත පූර්ණ මට්ටමේ පළමු පෙළ බැංකුවක්, මියන්මාරයේ ක්ෂුද්‍ර මූල්‍ය සමාගමක් සහ ඩුබායි ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානය (DIFC) තුළ නියෝජිත කාර්යාලයක් සමඟින් ශ්‍රී ලාංකික බැංකු අතර පුළුල්ම ජාත්‍යන්තර පියසටහනක් තබා ඇත. මීට අමතරව බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය දරන CBC ෆිනෑන්ස් ලිමිටඩ් සහ කොමර්ෂල් ඉන්ෂුවරන්ස් බ්‍රෝකර්ස් සමාගම තම ශාඛා ජාල හරහා පුළුල් පරාසයක මූල්‍ය සේවා සපයයි.

    සේයාරු සටහන - කොමර්ෂල් බැංකුවේ සහකාර සාමාන්යාධිකාරී - පුද්ගලික බැංකුකරණය කපිල ලියනගේ මහතා සහ කොලෝනියල් මෝටර්ස් හි මූල් කළමනාකරු සුරේෂ් රාසරත්නම් මහතා සමාගම් දෙකෙහි නියෝජිතයින් ඉදිරියේ ගිවිසුම හුවමාරු කර ගනී.