මිලියන 978 ක Lee Hedges කොන්ත්‍රාත්තුව තුඩාවේ බ්‍රදර්ස්ට

    May, 8, 2015

    Lee Hedges PLC සමාගම විසින් කොළඹ 03, ගාලුපාරේ අංක 349 දරණ ස්ථානයේ ඉදිකිරීමට යෝජිත මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු කිරීමට තුඩාවේ බ්‍රදර්ස් ප්‍රයිවට් ලිමිටඩ් සමාගම කොන්ත්‍රාත්කරුවා ලෙස තෝරාගෙන තිබේ.

    මේ අනුව, රුපියල් මිලියන 978 කට ආසන්න මෙම කොන්ත්‍රාත් ගිවිසුම Lee Hedges PLC සමාගමට අනුබද්ධ Lee Hedges Investments විසින් තුඩාවේ බ්‍රදර්ස් ප්‍රයිවට් ලිමිටඩ් සමාගම සමග අත්සන් කර ඇත.

    තට්ටු 15 කින් යුතු මෙම මිශ්‍ර සංවර්ධන ව්‍යපෘතිය සිදුකිරීමට Lee Hedges PLC සමාගමට අනුබද්ධ Lee Hedges Investments පසුගියදා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සමගද ගිවිසුමකට එළඹුණු අතර මෙම ව්‍යපෘතිය සඳහා ආයෝජනය කරන මුදල ඩොලර් මිලියන 9.5 කට ආසන්නය.

    මෙම ව්‍යාපෘතිය යටතේ වර්ග අඩි 112,000 ක ගොඩනැගිල්ලක් ඉදිකරන අතර ඒ තුළ කාර්යාල පහසුකම් ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇත.

    මෙම ව්‍යාපෘතිය සිදුකරන ඉඩම Lee Hedges PLC සමාගමට අයත්ව තිබී කජු සංස්ථාව සඳහා රජය පසුව මෙය අත්පත් කරගෙන තිබේ. කෙසේවෙතත්, සමාගම විසින් නැවතත් 99 අවුරුදු බදු පදනම යටතේ මෙම ඉඩම ලබාගෙන ඇත.