මිල ස්ථාවර වන තෙක් වෙන්දේසියෙන් තේ ගැනීමට මණ්ඩලේ සූදානම්

    November, 6, 2015

    හොඳ තත්ත්වයේ තේ කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 430 ක් වන මිල යටතේ ඉදිරි වෙන්දේසිවල දී තේ මිල දී ගැනීමට තේ මණ්ඩලය තීරණය කර තිබේ. මේ සඳහා අවශ්‍ය අරමුදල් රජයෙන් ලබා දීම සඳහා වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇත.

    ශ්‍රී ලංකාවෙන් තේ මිල දී ගන්නා රටවල පවතින අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් මෙරට තේ සඳහා වූ ඉල්ලුම 2014 වසරේ පටන් පහත වැටීම නිසා මෙම වසරේ ආරම්භයේ පටන්ම තේ මිල සැලකිය යුතු අන්දමින් පහත වැටී ඇත. සාමාන්‍යයෙන් නිමි තේ කිලෝග්‍රෑමයක නිෂ්පාදන වියදම රුපියල් 450 ක් වන අතර පසුගිය අගෝස්තු මාසයේ දී තේ වෙන්දේසියේ තේ කිලෝවක මිල රුපියල් 385.51 දක්වා පහත වැටී තිබේ. මෙම තත්ත්වය ප්‍රාදේශීය වැවිලි සමාගම් ද ඇතුළුව තේ කර්මාන්තයේ නියුතු සියලු දෙනාටම අහිතකර ආකාරයෙන් බලපා තිබේ.

    කෙසේ වෙතත් තේ කිලෝවක් සඳහා වෙන්දේසියේ දී ලැබෙන මිල රුපියල් 450 මට්ටමට ළඟා වූ පසු මෙයාකාරයෙන් රජය තේ මිල දී ගැනීම අත්හිටුවීමට නියමිතය.