June, 4, 2024
2024-05-01 දින වන විට, සංයෝජිත වර්ගීකරණ සංකේතාංක 126ක් යටතේ වර්ගීකරණය කරන ලද, ආහාරයට ගනු ලබන තෝරා ගත් ධාන්‍ය වර්ග සහ භාණ්ඩ වර්ග ආනයන පාලන බලපත්‍ර අවශ්‍යතාවට යටත් කරනු ලැබ ඇති අතර සංයෝජිත වර්ගීකරණ සංකේතාංක 53කට අදාළ ව ආනයන පාලන බලපත්‍ර නිකුත් කිරීම දැනට අත්හිටුවා ඇත.
මෙම පසුබිම තුළ අනීතිකව සිදු කරන ලාභ ඉපැයීම් (කළු-කඩ ක්‍රියාදාමය) මුලිනුපුටා දැමීම, නීති විරෝධී ආකාරයෙන් සිදු කරන ධාන්‍ය ආනයනය වැළැක්වීම, අයුතු සහ අසාධාරණ ආකාරයෙන් සිල්ලර මිල ඉහළ නැංවීම වැළැක්වීම හා පාරිභෝගිකයාට දරා ගත හැකි මිලක් සහතික කිරීම සහ යෝග්‍ය බදු අනුප්‍රමාණ හා නිරෝධායන ක්‍රමවේද පැනවීම මඟින් දේශීය නිෂ්පාදකයින් ආරක්ෂා කර ගැනීම යන බහුවිධ අරමුණු සාක්ෂාත් කර ගැනීම පිණිස ධාන්‍ය වර්ග ආනයනය කිරීම සඳහා වන ආනයන පාලන බලපත්‍ර අවශ්‍යතාව ඉවත් කිරීම යෝග්‍ය බව පෙනී ගොස් ඇත.
ඒ අනුව, ජනාධිපති ලේකම්ගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති, මහා භාණ්ඩාගාරයේ ලේකම් හා ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක ඇතුළු කමිටුවක් විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති නිර්දේශ සැලකිල්ලට ගෙන ජාතික ශාක නිරෝධායන සේවය මඟින් නිකුත් කරන ලද ජාතික ශාක නිරෝධායන බලපත්‍රය ඉදිරිපත් කිරීමට යටත්ව සහ කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ නිර්දේශ මත පදනම්ව දේශීය නිෂ්පාදකයින් ආරක්ෂා වන පරිදි අවශ්‍ය පියවර ගනිමින් මුං ඇට, උඳු, කව්පි, කුරක්කන්, සෝයා පිටි සහ රටකජු ආනයනය සඳහා වන ආනයන පාලන බලපත්‍ර ලබා ගැනීමේ අවශ්‍යතාව ඉවත් කිරීම පිණිස මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දෙන ලදී.
Video Story