මුං ඇට නිෂ්පාදනයට තරගකාරී මිලක් ගේන්න රජය මැදිහත්වෙයි

    December, 21, 2015

    ගෝවීන් දිරිගැන්වීමේ අරමුණින් මුංඇට කිලෝවක් රුපියල් 180.00 බැගින් මිල දී ගැනීම පිණිස රුපියල් මිලියන 50 ක උපරිමයකට යටත්ව අවශ්‍ය ප්‍රතිපාදන අත්තිකාරමක් වශයෙන් ගොවි භාරකාර අරමුදල මඟින් අදාළ දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත ලබා දීමට රජය කටයුතු කර තිබේ.

    මෙරට වාර්ෂික දේශීය මුං ඇට අවශ්‍යතාව මෙට්‍රික් ටොන් 26,000 ක් පමණ වන අතර මුං ඇට ආනයනය සඳහා වාර්ෂිකව වැයවන මුදල රුපියල් මිලියන 851 ක් පමණ වේ. මෙම ආනයන පිරිවැය අවම කර ගැනීම පිණිස ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහන යටතේ 2015 වර්ෂයේ අතරමැදි කන්නයේ දී මුං වගාව සාර්ථකව ක්‍රියාත්මක කරන ලද බව රජය වැඩිදුරටත් නිවේදනය කර සිටී.

    මේ අනුව අනුරාධපුර, මන්නාරම. කුරුණෑගල, මොනරාගල හා හම්බන්තොට දිස්ත්‍රික්කවල ගොවීන් මුං ඇට මෙට්‍රික් ටොන් 3,200 ක් පමණ නිෂ්පාදනය කර තිබේ. මේ තත්ත්වය තුළ වර්තමානයේ මුං ඇට කිලෝවක මිල රුපියල් 120 ත් 140 ත් අතර වේ. නිෂ්පාදන වියදමට සාපේක්ෂව මෙම මිල ප්‍රමාණවත් නොවන බැවින් ඉහත තීරණය ගැනීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.