මුදල් ප්‍රතිපත්තියේ වෙනසක් නැහැ

    July, 23, 2025

    ඊයේ (22) දින පැවති මුදල් ප්‍රතිපත්ති මණ්ඩල රැස්වීමේ දී මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය නොවනස්ව තවදුරටත් පවත්වා ගැනීමට තීරණය කළ බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

    ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය (OPR) සියයට 7.75 මට්ටමේ නොවෙනස්ව පවතිනු ඇත.

    දේශීය හා ගෝලීය ප්‍රවණතා ඉතා දැඩිව සලකා බැලීමෙන් පසුව මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය මෙම තීරණයට එළඹ තිබේ.

    ඒසේම වත්මන් මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය ඉදිරි කාලය තුළ උද්ධමනය 5% ක ඉලක්කයක් කරා මෙහෙයවීමට උපකාරී වන අතරම ආර්ථික වර්ධනයට සහාය වනු ඇතැයි මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය අදහස් කරයි.

    අපේක්ෂා කළ පරිදි, කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ මෑත කාලීන වෙනස්වීම් මගින් තවදුරටත් අවධමන තත්ත්වයේ ලිහිල් වීමක් පිළිබිඹු කෙරිණි. මෙම කාර්තුවේ දී උද්ධමනය ධන අගයකට පත් වී ක්‍රමයෙන් 5% ඉලක්කය දක්වා ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ. ආර්ථිකයේ ඉල්ලුම් තත්ත්ව ස්ථාවර ලෙස යථා තත්ත්වයට පත් වීම පෙන්නුම් කරමින්, මූලික උද්ධමනය ඉදිරි මාස කිහිපයේ දී ක්‍රමයෙන් ඉහළ යනු ඇත.

    2025 වසරේ පළමු කාර්තුවේ දී ආර්ථිකය 4.8%ක ශක්තිමත් වර්ධනයක් වාර්තා කළේ ය. නුදුරු කාලයේ දී මෙම වර්ධන ප්‍රවණතාව අඛණ්ඩ ව පවතිනු ඇතැයි මූලික ආර්ථික දර්ශක මගින් පෙන්නුම් කෙරේ. දේශීය ආර්ථික ක්‍රියාකාරකම් යථා තත්ත්වයට පත්වීමට සහාය දෙමින් මුදල් තත්ත්වයන් ලිහිල් වීම අඛණ්ඩ ව සිදු විය. මෑත කාලීන පොලී ප්‍රතිපත්ති අනුපාතික අඩු කිරීමත් සමග, බොහෝ වෙළඳපොළ පොලී අනුපාතික තවදුරටත් අඩු විය. 2025 – වසරේ මේ දක්වා කාලය තුළ පෞද්ගලික අංශය වෙත ලබා දුන් ණය ප්‍රසාරණය වඩාත් ශක්තිමත් ව සහ පුළුල් ව පැවතුණි. පෞද්ගලික අංශයේ ණය ප්‍රසාරණය අඛණ්ඩ ව පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ.

    වෙළඳ හිඟය පුළුල් වීමක් සිදු වුව ද විදේශීය අංශය අඛණ්ඩ ව ශක්තිමත්ව පැවතුණි. සංචාරක ඉපැයීම් සහ විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ ලැබීම් තවදුරටත් වර්ධනය විය. ණය සේවාකරණ ගෙවීම් මධ්‍යයේ දළ නිල සංචිත අඛණ්ඩ ව ශක්තිමත් මට්ටමක පැවතුණි. ශ්‍රී ලංකා මහ බැංකුව විදේශ විනිමය ශුද්ධ පදනමින් මිලදී ගනිමින් සංචිත වර්ධනය කර ගැනීමේ ප්‍රයත්නයෙහි අඛණ්ඩව නිරත වේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකම යටතේ පස්වන වාරිකය 2025 වසරේ ජූලි මස ආරම්භයේ දී හිමි විය.

    ගෝලීය වශයෙන්, වෙනස්වෙමින් පවතින වෙළඳ පරිසරය සහ ඉහළ යන භූ දේශපාලනික ගැටුම් හේතුවෙන් ප්‍රතිපත්ති අවිනිශ්චිතතාව තීව්‍ර වී තිබේ. මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය ගෝලීය අවිනිශ්චිතතා මගින් ඇතිවිය හැකි බලපෑම් සමීප ව නිරීක්ෂණය කරන අතර, දේශීය ආර්ථික ප්‍රවණතා සම්බන්ධ නව දත්ත ඇගැයීම අඛණ්ඩව සිදු කරයි.

    ආර්ථීකය එහි උපරිම ධාරිතා මට්ටමට ළඟා වීම සඳහා සහාය වන අතර ම, උද්ධමනය ඉලක්කගත මට්ටමේ ස්ථාවර වීම තහවුරු කිරීමට සුදුසු ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග අනුගමනය කිරීමට මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය සූදානම් ව සිටියි.