මුල් ළමාවිය සංවර්ධන ක්ෂේත්‍රයේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරමින් හේමාස් 75වන ‘පියවර’ පෙරපාසල හෝමාගම දී විවෘත කරයි

    January, 9, 2026

    ශ්‍රී ලංකාවේ මුල් ළමාවිය සංවර්ධන ක්ෂේත්‍රයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, හේමාස් Outreach පදනම සිය 75වන 'පියවර' පෙරපාසල හෝමාගම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ දී විවෘත කරන ලදී. මෙම නව ‘පියවර’ පෙරපාසල හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ ජර්මනියේ  The Fly & Help පදනමේ සහයෝගීතාව ඇතිව ස්ථාපිත කර තිබේ.

    කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය යටතේ පවතින මුල් ළමාවිය සංවර්ධනය පිළිබඳ ජාතික ලේකම් කාර්යාලයේ සහයෝගීතාව සමඟින්  'පියවර' ව්‍යාපෘතිය  ආරම්භ කරන ලදී.  සෑම ශ්‍රී ලාංකික දරුවෙකුටම ඔවුන්ගේ  මුල් ළමා අවධියේ දී ඉගෙනීමට, පෞරුෂය වර්ධනය කර ගැනීමට සහ සාර්ථක වීමට අවස්ථාව ලබා දීම යන  ප්‍රබල අරමුණු මත මෙම ව්‍යාපෘතිය ගොඩ නගා ඇත. දරුවන්ට හිතකර පරිසරයක්, පුහුණු ගුරුවරුන්ගේ මගපෙන්වීම සහ දරුවන්ගේ ඉගෙනීමට හිතකර  ප්‍රවේශයක් කෙරෙහි අවධානය යොමු කරන 'පියවර' ආකෘතිය හරහා අද වන විට වාර්ෂිකව පෙරපාසල් දරුවන් 4,000කට අධික පිරිසක් ප්‍රතිලාභ ලබයි.

    හෝමාගම පැවැති මෙම සමාරම්භක උත්සවය සඳහා හෝමාගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුළු සාමාජිකයින්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, රාජ්‍ය නිලධාරීන්, ප්‍රදේශයේ ආගමික නායකයින් මෙන්ම දෙමාපියන් සහ දරුවන් ඇතුළු විශාල පිරිසක් සහභාගී විය. එමෙන්ම, හේමාස් හෝල්ඩින්ස් පීඑල්සී හි අධ්‍යක්ෂ මණ්ඩලය ඇතුළු ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය සහ හේමාස් Outreach  භාරකාර සාමාජිකයින් ද මෙම අවස්ථාවට එක් විය.

    හේමාස් Outreach පදනමේ සභාපති, මෙම අවස්ථාව අමතමින්, "75 වන 'පියවර' පෙරපාසල විවෘත කිරීම, හේමාස් සමාගමට පමණක් නොව මෙම වැඩසටහන සාර්ථක කර ගැනීමට දායක වූ සියලුම ප්‍රජාවන්ට මහත් ආඩම්බරයක්. වසර විසි ගණනකට වැඩි කාලයක් තිස්සේ, දරුවන්ට ඉගෙනීමට හා සංවර්ධනයට අවශ්‍ය ආරක්ෂිත වටපිටාවක් නිර්මාණය කිරීමට 'පියවර' සමත්ව තිබෙනවා. ශ්‍රී ලංකාව පුරා වෙසෙන තවත් දහස් සංඛ්‍යාත දරුවන්ට ගුණාත්මක පෙරපාසල් අධ්‍යාපනයක් ලබා දීම සඳහා මෙම ප්‍රයත්නය තවදුරටත් පුළුල් කිරීමට අප සෑම විටම කැප වී සිටිනවා." යනුවෙන් සිය අදහස් දැක්වීය.

    හෝමාගම ප්‍රාදේශීය සභාවේ සභාපති, කසුන් රත්නායක මහතා, මේ පිළිබඳව අදහස් දක්වමින්, "අපගේ මූලික අරමුණ වන්නේ, දරුවාගේ ආරක්ෂිතතාවය හා සනීපාරක්ෂාව තහවුරු කරමින්, ඔවුන්ගේ සමස්ථ වර්ධනයට අදාළ වන ගුණාත්මක අධ්‍යාපන පදනමක් ලබා දීමයි. එමෙන්ම දරුවාගේ බුද්ධිය, නිර්මාණශීලීත්වය, සාමාජීය පුරුදු  හා පාසල් ජීවිතයට අවශ්‍ය හැකියාවන් ශක්තිමත් කරමින් අනාගතය වෙනුවෙන් දරුවා සුදානම් කිරීම අපගේ සුවිශේෂී වගකීමක් ලෙස දකිනවා." යනුවෙන් පැවසීය.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හේමාස් Outreach පදනමේ විධායක අධ්‍යක්ෂිකා, ශිරෝමි මාසකෝරාල මහත්මිය, "පියවර' යනු හුදෙක් පෙරපාසල් එකතුවක් පමණක් නොව, එය මුල් ළමාවිය සංවර්ධනය සඳහා වූ පූර්ණ ප්‍රවේශයක්. වසර 23ක කාලය තුළ දරුවන් ලක්ෂයකට අධික පිරිසක් 'පියවර' හරහා මුල් ළමාවිය අධ්‍යාපනය ලබා තිබෙනවා. අපි මෙහි දී ගොඩනැගිලි පහසුකම් සංවර්ධනයට පමණක් සීමා නොවී, ගුරුවරුන්ගේ කුසලතා නැංවීම, දෙමාපියන් සම්බන්ධ කර ගැනීම, ළමා ආරක්ෂණය, ආබාධ සහිත දරුවන්ට සහාය වීම සහ හදිසි ආපදා අවස්ථාවන් හි දී මැදිහත් වීම වැනි කරුණු සඳහා ද ආයෝජනය කරනවා. අපගේ දැක්ම වන්නේ ශ්‍රී ලංකාවේ සමස්ත මුල් ළමාවිය සංවර්ධන පද්ධතියම ශක්තිමත් කිරීමයි." යනුවෙන් පැවසීය.

    එක් පෙරපාසලකින් ඇරඹි 'පියවර' හි ගමන් මඟ 75 වන පෙරපාසල දක්වා ව්‍යාප්ත වීම තුළින් සාමූහිකත්වය, අඛණ්ඩතාව සහ පොදු අරමුණක ඇති ප්‍රබලත්වය මැනවින් විදහා දක්වයි. මෙම වැඩසටහන තවදුරටත් ඉදිරියට ගෙන යන හේමාස් Outreach පදනම, විශේෂයෙන්ම අඩු පහසුකම් සහිත ප්‍රජාවන් ඉලක්ක කර ගනිමින් පෙරපාසල් අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීමට නිරන්තරයෙන් කැප වී සිටියි.

    ඉදිරියේ දී තවත් පෙරපාසල් රැසක් ජනතා අයිතියට පත් කිරීමට නියමිත අතර, ‘පියවර' වැඩසටහනේ අරමුණ වන්නේ සිය සේවාවන් තවදුරටත් පුළුල් කිරීමයි. ඒ හරහා ශ්‍රී ලංකාවේ සෑම දරුවෙකුටම වඩාත් දීප්තිමත් අනාගතයක් ගොඩ නගා ගැනීමට අවශ්‍ය ශක්තිමත් පදනමක් සැකසීම සහතික කිරීම වෙනුවෙන් පෙනී සිටීමට හේමාස් Outreach  පදනම අපේක්ෂා කරයි.