මූල්‍ය අංශය ඒකාබද්ධ කිරීම පෙරට යන්නෙ මෙහෙමයි

    August, 4, 2014

    ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ක්‍රියාත්මක කරන බැංකු හා බැංකු නොවන මූල්‍යායතන ඒකාබද්ධ කිරීමේ වැඩසටහන යටතේ මේ දක්වා බැංකු 12 ක් හා බැංකු නොවන මූල්‍යායතන 57 ක් තම සැලසුම් ඉදිරිපත් කර ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව කියයි.

    මෙම ආයතන විසින් මෙම සැලසුම් ඉදිරිපත් කර තිබෙන්නේ ඒකාබද්ධ කිරීම, මිලදීගැනීම හා ප්‍රාග්ධනය හඳුන්වාදීම සඳහායි.

    මෙහිදී, ඒකාබද්ධ කිරීමේ සැලසුම් 19 ක් සඳහා මුදල් මණ්ඩලය විසින් සිය ප්‍රතිපත්තිමය අනුමැතිය ලබාදී තිබෙන අතර මහ බැංකුව විසින් පත්කර තිබෙන විගණන ආයතන අදාළ ගනුදෙනු සම්බන්ධව උපදෙස් ලබාදෙමින් සිටින බව සඳහන්ය.

    මීට අමතරව, මෙම විගණන ආයතන සිදුකළ ව්‍යාපාර තක්සේරු කිරීම් පදනම් කර ගනිමින් මෙම මිලදී ගැනීම් හා ඒකාබද්ධ කිරීම්වල මිල තීරණය කිරීමට උපදෙස් ලබාදී ඇත.

    මේ අතර, මෙම ඒකාබද්ධ කිරීමේ වැඩසටහනට පසුගියදා අර්බුදයට පත්වූ  සෙන්ට්‍රල් ඉන්වෙස්ට්මන්ට් ඇන්ඩ් ෆිනෑන්ස් සමාගමද ඇතුළත් කර ඇතැයි මහ බැංකුව සඳහන් කරන අතර එම සමාගම ප්‍රතිව්‍යුහගත කිරීමට එරෙහිව අභියාචනාධිකරණය පනවා තිබූ වාරණ නියෝගය ඉවත් කර තිබේ.

    මහ බැංකුව පවසන්නේ මූල්‍ය අංශය ඒකාබද්ධ කිරීමේ මෙම වැඩසටහන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලද අගය කර තිබෙන බවයි.