මූල්‍ය අංශය ඒකාබද්ධ කිරීම වෙනුවෙන් විනිමය කොමිසම බැමි ලිහයි

    September, 23, 2014

    ශ්‍රී ලංකා මහ බැංකුව විසින් දියත් කර තිබෙන මූල්‍ය අංශය ඒකාබද්ධ කිරීමේ වැඩසටහන (Financial Sector Consolidation) සඳහා සහයෝගයක් ලබාදීමට අදාළ ඒකාබද්ධ කිරීමේ වැඩසටහන යටතේ සිදුවන ගිවිසගත් ගනුදෙනු (Crossings) දැනට පනවා තිබෙන රෙගුලාසියකින් නිදහස් කිරීමට සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව කටයුතු කර තිබේ.

    කොළඹ කොටස් වෙළඳ පොළේ ගිවිසගත් ගනුදෙනුවක් සිදුවීමේදී අදාළ කොටස් මිල ගනුදෙනුව සිදුවන දිනයට පෙර දිනයේ පැවති මිලට වඩා සියයට 05 කට වඩා අඩු නොවිය යුතු බවට මේ වනවිට රෙගුලාසියක් ඇත.

    උදාහරණයක් ලෙස ඊයේ දිනයේදී රුපියල් 100 කට අලෙවි වන කොටසක් අද දිනයේ ගිවිසගත් ගනුදෙනුවක් ලෙස අලෙවි වන්නේ නම් එහි මිල රුපියල් 95 කට වඩා අඩු නොවිය යුතුය.

    කෙසේවෙතත්, මෙම ගිවිසගත් කොටස් ගනුදෙනුව සිදුවන්නේ මහ බැංකුවේ මූල්‍ය අංශය ඒකාබද්ධ කිරීමේ වැඩසටහනට අදාළව නම් මෙම සියයට 05 ක මිල සීමාවෙන් පහළට පැමිණ රුපියල් 95 කට අඩුවෙන් අදාළ කොටස් විකිණිය හැකි ලෙස මෙම රෙගුලාසිය ඊයේ දිනයේ සිට බලපැවැත්වෙන පරිදි ලිහිල් කර තිබේ.

    මෙම ලිහිල් කිරීම අනිකුත් ගිවිසගත් ගනුදෙනු වලට අදාළ නොවන අතර අදාළ වන්නේ මහ බැංකුවේ මූල්‍ය අංශය ඒකාබද්ධ කිරීමේ වැඩසටහන යටතට වැටෙන ගිවිසගත් ගනුදෙනු වලට පමණි.

    මූල්‍ය අංශය ඒකාබද්ධ කිරීමේ වැඩසටහන යටතේ පසුගිය කාලයේදී මෙරට මුදල් සමාගම් කිහිපයක්ම ගිවිසගත් කොටස් ගනුදෙනු ලෙස විකුණා දැමූ අතර තවත් සමාගම් රැසක්ම ඉදිරියේදී එලෙස විකුණා දැමීමට නියමිතය.