මූල්‍ය අරමුදලේ මීළඟ වාරිකය එන මාසයේ දී

    May, 28, 2024

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වැඩසටහනේ දී මේ වන විට ඉතා හොඳ ප්‍රගතියක් අත්පත් කර ගෙන ඇති බවත්, මූල්‍ය අරමුදලෙන් හිමිවන මීළඟ වාරිකය ලබන මාසයේ දී ලබා ගැනීමට හැකි වනු ඇතැයි විශ්වාස කරනු ලබන බවත් ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

    අද දෙරණ කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් අද (28) ශ්‍රී ලංකා මහ බැංකු මූලස්ථාන පරිශ්‍රයේ පැවති මාධ්‍ය හමුවක දී අධිපතිවරයා මේ බව කියා සිටියේය.

    “මූල්‍ය අරමුදල සමඟ වැඩසටහන, අපි බලාපොරොත්තු වෙන ආකාරයට ජූනි මාසයේ දී මූල්‍ය අරමුදල සමග දෙවන සමාලෝචනය සම්පූර්ණ කරන්න පුළුවන් වෙයි කියලා. ඒත් එක්කම සමාන්තරව ණය ප්‍රතිව්‍යූහගතකරණය සම්බන්ධයෙන්, විශේෂයෙන් නිල ණය හිමි කමිටුවත් එක්ක, පුද්ගලික ණය හිමියන් එක්ක, වානිජ ණය හිමියන් එක්ක, ඊට අමතරව රජයේ ණය ගත්ත ආකාරය සම්බන්ධයෙන් කටයුතු සමාන්තරව කෙරීගෙන යනවා. ඔක්කෝම හොඳ ප්‍රගතියක් ලබා ගෙන තිබෙනවා. අපි හිතන්නේ ඉතා ඉක්මනින් ඒ දෙකම සෑහෙන දුරකට ලොකු ප්‍රගතියක් ලබා ගන්න පුළුවන් වෙයි කියලා. මීළඟ වාරිකය ජූනි මාසයේ ලබාගන්න පුළුවන් වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා.“