මූල්‍ය අරමුදල සමග සෘජුවම කතා කරන බව විපක්ෂය කියයි

    December, 23, 2014

    විපක්ෂය බලයට පත්වුවහොත් දේශීය විහිළුකාරයින් සමග ගනුදෙනු කිරීමෙන් මිදී වොෂින්ටනයේ පිහිටි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සෘජුවම එකඟතාවයන්ට පැමිණීමට කටයුතු කරන බව විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා කියයි.

    ඔහු මේ බව පැවසුවේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ අනාගත උපාය මාර්ගය පැහැදිලි කිරීමට අද උදෑසන කොළඹදී පැවති ව්‍යාපාරික සමුළුවේදීයි. මේ සඳහා, රනිල් වික්‍රමසිංහ මහතා සහ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා සහභාගී විය.

    වික්‍රමසිංහ මහතා පැවසුවේ ශ්‍රී ලංකාව පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් පසුගියදා කර තිබෙන තක්සේරුව සමග තමන් එකඟ නොවන බවයි.

    ශ්‍රී ලංකාව දෙවන පරම්පරාවේ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ සඳහා ගමන් කළ යුතුව තිබෙන බවත් ඒ තුළින් තරගකාරීත්වය හා නවෝත්පාදනය ළඟාකර ගත හැකි බවත් වික්‍රමසිංහ මහතා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

    එසේම, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ අනිකුත් ණය දෙන ආයතනවල සහයෝගයෙන් මෙරට කෙටි කාලීන ජාත්‍යන්තර රාජ්‍ය ණය නැවත ප්‍රතිව්‍යුහගත කිරීමේ අවශ්‍යතාවයක් තිබෙන බවද රනිල් වික්‍රමසිංහ මහතා කීය.