ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නියාමනය කරනු ලබන මූල්‍ය ආයතනයන්හි අර්බුද කළමනාකරණ රාමුව යටතේ බැංකු නිරාකරණ රාමුව ශක්තිමත් කිරීම හදිසි ප්‍රමුඛතාවක් ලෙස කළ යුතු කටයුත්තක් බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් හඳුනාගෙන ඇත.
2023 අංක 17 දරන බැංකු (විශේෂ විධිවිධාන) පනතේ 15 වන වගන්තිය යටතේ, නිරාකරණය කිරීමේ අරමුණු සාක්ෂාත් කර ගැනීම සහ පනතේ විධිවිධාන සලස්වා ඇති නිරාකරණ ක්‍රියාමාර්ග ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම සහතික කිරීම සඳහා මූල්‍ය ස්ථායිතා අරමුදලක් පිහිටුවනු ලැබිය යුතුය.
2023 අංක 17 දරන බැංකු (විශේෂ විධිවිධාන) පනතේ 15(2) වගන්තියට අනුව මූල්‍ය ස්ථායිතා අරමුදල ස්වාධීන අරමුදලක් ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවේ වෙනත් වත්කම්වලින් සහ මහ බැංකුව විසින් කළමනාකරණය කරනු ලබන වත්කම්වලින් වෙන්ව කළමනාකරණය කරනු ලැබිය යුතුය.
2024-07-31 දින වන විට, මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය විසින් සපයනු ලබන මූලික මූල්‍ය වෙන් කිරීම් භාවිතා කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මූල්‍ය ස්ථායිතා අරමුදල පිහිටුවීම සහ ඵලදායී නිරාකරණ රාමුවක් සහතික කිරීම සඳහා විස්තීරණ මාර්ගෝපදේශ සමඟ මූල්‍ය ස්ථායිතා අරමුදල ක්‍රියාත්මක කිරීම, මූල්‍ය අංශයේ ස්ථායිතා සහ ප්‍රතිසංස්කරණ වැඩසටහනෙහි 2 වන උප වැඩසටහනෙහි දර්ශක ප්‍රතිපත්ති ක්‍රියාමාර්ගයක් ලෙස ඇතුළත් කර ඇත. ඒ සඳහා ආසියානු සංවර්ධන බැංකුව විසින් අරමුදල් සපයනු ලබන මූල්‍ය අංශයේ ස්ථායිතා සහ ප්‍රතිසංස්කරණ වැඩසටහන යටතේ ඇමෙරිකානු ඩොලර් මිලියන 200ක ණය මුදලක් මෙම වසර තුළ ලබා ගැනීමට අපේක්ෂිතය.
ඒ අනුව, මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය විසින් සපයනු ලබන රුපියල් මිලියන 1,000ක නාමික මුදලකින් මූල්‍ය ස්ථායිතා අරමුදල ස්ථාපිත කිරීමටත්, පවතින මූල්‍ය අවකාශයේ සීමාවන්ට යටත්ව වාර්ෂික අයවැයෙන් ප්‍රතිපාදන ලබා දෙමින් ක්‍රමානුකූලව අරමුදල ගොඩනැඟීමටත් මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.