මෙතෙක් අත්සන් නොකළ රුසියා – ශ්‍රී ලංකා ප්‍රවාහන අමාත්‍යාංශ අතර අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීමට කැබිනට් මණ්ඩලය තීරණය කරයි

    March, 31, 2026

    දෙපාර්ශවය අතර සහයෝගිතාව වර්ධනය කිරීම සහ ප්‍රවාහන ක්ෂේත්‍රයේ පිරිස් පුහුණු කිරීම පිළිබඳව රුසියානු සමූහාණ්ඩුවේ ප්‍රවාහන අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ එවකට ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍යාංශය අතර අවබෝධතා ගිවිසුමකට එළඹීම පිණිස 2024-02-12 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබේ. එහෙත්, එකී ගිවිසුමට මෙතෙක් අත්සන් තබා නොමැත.

    ශ්‍රී ලංකාවේ ප්‍රවාහන ක්ෂේත්‍රය තුළ දැනටමත් හඳුන්වා දී ඇති බහු විධ ප්‍රවාහනය, ප්‍රවාහන ක්ෂේත්‍රය තුළ රාජ්‍ය - පෞද්ගලික හවුල්කාරිත්වය, ප්‍රාදේශීය සහ නාගරික ප්‍රවාහන පද්ධති සංවර්ධනය, ප්‍රවාහන යටිතල පහසුකම් කළමනාකරණය, ප්‍රවාහන සුරක්ෂිතතාව වැනි සංකල්ප සහ කළමනා කරණ ක්‍රමවේද සඳහා අදාළ නව දැනුම ලබා ගැනීමට යෝජිත අවබෝධතා ගිවිසුමට එළඹීම මඟින් හැකි වන බවට හඳුනාගනු ලැබ ඇත.

    ඒ අනුව, එකී අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම පිණිස ප්‍රවාහන, මහා මාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.