May, 23, 2014
සතියේ අවසන් දවස වන අද කොළඹ කොටස් වෙළඳ පොළේ මිල දර්ශක දෙකම පහළ වැටුණු අතර සමස්ත මිල දර්ශකය ඒකක 9.86 කින් පහළ ගොස් ඒකක 6,280.31 ක් වෙද්දී එස් ඇන්ඩ් පී මිල දර්ශකය ඒකක 5.62 කින් පහළ වැටී ඒකක 3,459.43 ක් විය.
ලංකා දුම්කොළ සමාගමේ කොටසක් සියයට 1.9 කින් පහළ ගොස් රුපියල් 1,083.00 ක්ද, ඒෂියන් හොටෙල්ස් ඇන්ඩ් ප්‍රොපර්ටීස් කොටසක් සියයට 3.2 කින් පහළ ගොස් රුපියල් 70.00 ක්ද, ඩිස්ටිලරීස් කොටසක් සියයට 1.2 කින් පහළ ගොස් රුපියල් 207.50 ක්ද වී තිබේ.
දිනයේ වෙළඳ පොළ පිරිවැටුම රුපියල් මිලියන 804 කි. දිනයේ වෙළඳ පොළ පිරිවැටුමට වැඩිම දායකත්වයක් ලබාදෙමින් ජෝන් කීල්ස් රුපියල් මිලියන 289 ක පිරිවැටුමක් වාර්තා කළ අතර ලංකා ඉන්දීය තෙල් සමාගම වාර්තා කළ පිරිවැටුම රුපියල් මිලියන 72 කි. කොමර්ෂල් බැංකුව රුපියල් මිලියන 66 ක පිරිවැටුමක් වාර්තා කර ඇත.
අද වාර්තා වූ එකම ගිවිසගත් ගනුදෙනුව කොමර්ෂල් බැංකුව සිදුකළ අතර එහිදී කොටස් මිලියන 0.2 ක් එකක් රුපියල් 126.50 ක් බැගින් ගනුදෙනු විය.
ලංකා ඉන්දීය තෙල්, කැළණි ටයර්, ජෝර්ජ් ස්ටුවර්ට් ෆයිනෑන්ස් සහ සෙලාන් ඩෙවලොප්මන්ට් යන කොටස් අද වැඩිපුර ගනුදෙනු වූ කොටස් විය.
අද විදේශීය ආයෝජකයින් වැඩිපුර කොටස් මිලදීගත් අතර රුපියල් මිලියන 297 ක ශුද්ධ කොටස් මිලදී ගැනීමක් විදේශීය ආයෝජකයින් විසින් කරන ලදී. දිනයේ වෙළඳ පොළ ක්‍රියාකාරීත්වයට විදේශීය ආයෝජකයින්ගේ සහභාගීත්වය සියයට 33 ක් වන අතර ජෝන් කීල්ස් සමාගමේ රුපියල් මිලියන 282 ක කොටස්, ලංකා දුම්කොළ සමාගමේ රුපියල් මිලියන 12 ක කොටස්, ලංකා ඉන්දීය තෙල් සමාගමේ රුපියල් මිලියන 05 ක කොටස් විදේශීය ආයෝජකයින් විසින් මිලදීගෙන ඇත. එයිට්කන් ස්පෙන්ස් සමාගමේ රුපියල් මිලියන 04 ක කොටස් විදේශීය ආයෝජකයින් විසින් විකුණා තිබේ.
Video Story