May, 8, 2014
යෝජිත ශ්‍රී ලංකා-චීන නිදහස් වෙළඳ ගිවිසුම යටතේ චීනයට සිදුකරන මෙරට ඇඟලුම්, පොල්, රබර්, තේ ආශ්‍රිත නිෂ්පාදන, මැණික් හා ස්වර්ණාභරණ සඳහා සම්පූර්ණයෙන්ම බදු සහන ඉල්ලා සිටීමට බලාපොරොත්තු වනබව මහා භාණ්ඩාගාරයේ උසස් නිළධාරියෙකු කියයි.
මහා භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම්, එස්.ආර්. ආටිගල මහතා අප සමග පැවසුවේ මෙම වෙළඳ ගිවිසුමට අදාළව ශ්‍රී ලංකාව හා චීනය විසින් එක්ව ගොඩනැගූ ශඛ්‍යතා අධ්‍යන වාර්තාව එරට අනුමැතිය සඳහා මේ වනවිට ඉදිරිපත් කර තිබෙන බවයි.
ශඛ්‍යතා වාර්තාවට අනුමැතිය හිමිවූ විගසම වෙළඳ ගිවිසුම අත්සන් කිරීමට අදාළව දෙරට අතර සාකච්ඡා ආරම්භ කරන බවත් මේ වසර අවසන් වීමට පෙර ගිවිසුම අත්සන් කිරීමට සැලසුම් කර තිබෙන බවත් හෙතෙම පැවසීය.
“මේ යටතේ රබර්, තේ, පොල්, ඇඟලුම්, මැණික් හා ස්වර්ණාභරණ අපනයන වෙනුවෙන් සියයට සියයක බදු විරාමයක් චීනයෙන් ඉල්ලා සිටීමට අපි බලාපොරොත්තු වෙනවා. අපේ ඉලක්කය වන්නේ වසරට ඩොලර් මිලියන 500 ක පමණ ඇඟලුම් මෙම ගිවිසුම යටතේ බදු රහිතව චීනයට අපනයනය කිරීමටයි.“
“චීනය වෙනුවෙන් මෙරට වෘත්තීය සේවා විවෘත නොකරන බව අප පැහැදිලිවම කියා තිබෙනවා. මීට අමතරව, මෙරට නිෂ්පාදනය නොකරන ඉදිකිරීම් කර්මාන්තයට අදාළ විශාල යන්ත්‍ර සූත්‍ර සහ උපකරණ ශ්‍රී ලංකාවට ආනයනය කිරීමේදී එරටට සහන ලබාදීමටයි ලංකාව අදහස් කර තිබෙන්නේ“
යනුවෙන් ආටිගල මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
ශ්‍රී ලංකාව හා චීනය අතර වෙළඳාමේදී ශ්‍රී ලංකාව පාර්ශවයෙන් මේ වනවිට විශාල වෙළඳ හිඟයක් තිබෙන අතර කොළඹදී පැවති රැස්වීමකදී අදහස් දක්වමින් කොළඹ සිටින චීන තානාපතිවරයා මීට පෙර අවස්ථාවක සඳහන් කළේ තම රටට මිත්‍රශීලී ලංකාව වෙනුවෙන් යම් සහනයක් මෙම වෙළඳ ගිවිසුම තුළින් ලබාදෙන බවයි.
මේ අතර, ලෝකයේ දැවැන්තම ආර්ථිකය බවට ළඟදීම පත්වන චීනය සමග තරග කිරීමට නොහැකිව මේ තුළින් ලංකාවේ වෙළඳ හිඟය තවත් වැඩිවනු ඇතැයිද තවත් මතයක් ඉදිරිපත්වී ඇත.
Video Story