මෙරටින් වංචනිකව අදින මුදල් නැවත ආයෝජනය කරන බවට චෝදනාවක්

    June, 11, 2014

    මෙරටින් විදේශීය රටවලට වංචනිකව මුදල් රැගෙන යන ඇතැම් පාර්ශව නැවතත් ලංකාවේ මුදල් ආයෝජනය කරන බවට සැකයක් තිබෙන බවත් එවැනි පාර්ශවයන්ට මෙරට විදේශීය ශ්‍රමිකයින්ට වඩා ලංකාව තුළදී ප්‍රතිලාභයක් ලබාගැනීමේ හැකියාව තිබෙන බවත් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා කියයි.

    ඊයේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී හර්ෂ ද සිල්වා මහතා මේ බව පැවසූ අතර ඔහු පෙන්වා දුන්නේ විදේශීය ශ්‍රමිකයින්ගේ තැන්පතු සඳහා සොච්චම් පොලියක් ලබාදෙන විට ලංකාවේ ආයෝජන කටයුතු කරන එවැනි පාර්ශවයන්ට විශාල ප්‍රතිලාභයක් ලැබිය හැකි බවයි.

    ලංකාවේ ආයතන විදේශීය රට වලින් ලබාගන්නා ණය ලබාදීමට ලංකාවෙන් මුදල් වංචනිකව රැගෙන යන පුද්ගලයින් ඉදිරිපත් වන බවට චෝදනාවක් තිබෙන බව හෙතෙම මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

    “ඒ කියන්නේ සල්ලි හොරකම් කරල, පගා ගහල, නැවත ඒ සල්ලි එළියට ගෙනිහිල්ල, නැවත ගේනව කියල. නැවත ගෙනැල්ල, ඒ ණය අපිටම දීල සියයට 09 ක පොලියක් ගන්නව කියල.“

    විදේශීය ශ්‍රමිකයින් මෙරට ආර්ථිකයට විශාල දායකත්වයක් දක්වන බව මන්ත්‍රීවරයා අවධාරණය කළේය.