මෙරට ආයෝජන ක්ෂේත්‍ර රැසක් කෙරෙහි ජර්මානු ආයෝජකයින්ගේ අවධානය යොමුවෙයි

    July, 21, 2025

    ජනපතිගේ ජර්මානු සංචාරයත් සමග බලශක්ති, සැපයුම්, නිෂ්පාදන, සංචාරක සහ ඩිජිටල් පරිවර්තනය වැනි අංශයන්හි මෙරට ආයෝජනයට ජර්මානු ආයෝජකයින්ගේ අවධානය - ජර්මානු කාර්මික හා වාණිජ ආයතනය (AHK Sri Lanka) ශ්‍රී ලංකා ප්‍රධාන නියෝජිත මාටින් ක්ලෝස්

    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ  පසුගිය ජර්මනි සංචාරය අතරේ  බර්ලිනයේ ජර්මානු කර්මාන්ත හා වාණිජ මණ්ඩල සංගමයේ (DIHK) ව්‍යාපාරික සංසදය හමුවිය. එහිදී මෙරට පවතින ආයෝජන අවස්ථා පිළිබදව ව්‍යාපාරික ප්‍රජාව දැනුවත් කළ ජනාධිපතිවරයා මෙරට ආයෝජනයට ද  ඔවුනට ආරාධනා කළේය.  ජනාධිපතිවරයාගේ මෙම සංචාරයේ සිදු කළ  ආයෝජක දැනුවත් කිරීම් තවදුරටත් ඉදිරියට ගෙනයාම අරමුණු කරගනිමින් ශ්‍රී ලංකා  ආයෝජන මණ්ඩලය උපායමාර්ගික පසු විපරම් ආයෝජක හමුවීම්  මාලාවක් පවත්වයි. ඒ අනුව මෙරට ජර්මානු ආයෝජන වර්ධනය කර ගැනීමේ අරමුණු කරගත් සාකච්ඡාවක් පැවැත්විණි. මෙරට  ආයෝජනය කර ඇති ජර්මානු ආයෝජකයින්, ජර්මානු කාර්මික හා වාණිජ ආයතනය, විදේශ අමාත්‍යාංශය   ආදී නියෝජිතයන්ගෙන් සමන්විත මෙම  සාකචඡාව කොළඹ ලෝක වෙළද මධ්‍යස්ථානයේ පිහිටි ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේදී පසුගියදා (14) පැවැත්විණි.

    ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති අර්ජුන හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සාකච්ඡාව  සදහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් රේණුකා වීරකෝන්, ජර්මානු කාර්මික හා වාණිජ ආයතනය (AHK Sri Lanka) ශ්‍රී ලංකා ප්‍රධාන නියෝජිත මාටින් ක්ලෝස් සහ මාර්ගගත ක්‍රමවේදය අනුව  ජර්මනියේ ශ්‍රී ලංකා තානාපතිනි වරුණි මුතුකුමාරණ යන මහත්ම මහත්මින් ඇතුළු නිළධාරින් රැසක් මීට සහභාගි වූහ.

    මෙහිදී අදහස් දැක්වූ ජර්මානු කාර්මික හා වාණිජ ආයතනය (AHK Sri Lanka) ශ්‍රී ලංකා ප්‍රධාන නියෝජිත මාටින් ක්ලෝස් මහතා, ජනාධිපතිවරයාගේ බර්ලින් සංසදයට ප්‍රධාන ජර්මානු සමාගම් 30 කට අධික සංඛ්‍යාවක් සහභාගි වූ බව අවධාරණය කළේය. ලොව ප්‍රධානතම ආර්ථිකයකට හිමිකම් කියන ජර්මානු ආයෝජකයින්  ශ්‍රි ලංකාව කෙරෙහි අවධානය යොමු කරගැනිම විශාල ආර්ථික වාසියක් බවත්, මෙහිදී ඔවුන් මෙරට බලශක්ති, සැපයුම්, නිෂ්පාදන, සංචාරක සහ ඩිජිටල් පරිවර්තනය වැනි අංශ කෙරෙහි වැඩි උනන්දුවක් දක්වන බවද මාටින් ක්ලෝස් මහතා සදහන් කළේය.

    ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති අර්ජුන හේරත් මහතා අදහස් දක්වමින්, ජනාධිපතිවරයාගේ බර්ලින් නිල සංචාරයේදී ජර්මානු ජනාධිපතිවරයා සහ ප්‍රධාන අමාත්‍යවරුන්ගෙන් ලැබුණු ශක්තිමත් සහයෝගය පිළිබදව ස්තුතිය පලකළ අතර, දෙරට අතර ද්විපාර්ශවික සබඳතා තවදුරටත් ශක්තිමත් කරගැනීමට එය මනා පිටුවහලක් වූ බව පැවසීය. ජර්මානු සංචාරකයින්ට ශ්‍රී ලංකාව ආකර්ශණීය ගමනාන්තයක් බවට පත්කර ගත හැකි බවත්, ජර්මානු සංචාරක වෙළඳපොලේ ශ්‍රී ලංකාවේ ආකර්ශනීය බව සහ තරඟකාරිත්වය වැඩි දියුණු කිරීම සඳහ ලබාගත හැකි උපායමාර්ග හඳුනා ගැනීම  වෙනුවෙන්  ජර්මානු පාර්ශවකරුවන්  22 දෙනෙකු එක් කරගැනීමට කටයුතු සිදු කරමින් සිටින  බව හේරත් මහතා අවධාරණය කළේය.

    ශ්‍රී ලංකාව මේ වනවිට  සාර්ව ආර්ථික සහ දේශපාලන ස්ථාවරත්වය ස්ථාපිත කර ඇත. කලාපයේ ජර්මානු මෝටර් රථ නිෂ්පාදන කේන්ද්‍රස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව උපායමාර්ගිකව වැදගත් වේ. ලොව විශාලතම ජනගහනය හා නැගී එන බලවත්ම ආර්ථිකයකට හිමිකම් කියන ඉන්දියාවට යාබදව පිහිටා තිබීම තුලින්  ලොව විශාලතම වෙළඳපොලකට පිවිසීමට පහසුවෙන්  අවස්ථාව සැලසේ. මේ වන විටත් ශ්‍රී ලංකා-ඉන්දියානු නිදහස් වෙළඳ ගිවිසුම යටතේ නිෂ්පාදන 4,200 කට අධික සංඛ්‍යාවකට තීරුබදු රහිත ප්‍රවේශ වීමට හැකියාව ලැබී තිබේ. ඉන්දියාවේ ඩොලර් බිලියන 21 ක මෝටර් රථ අපනයන වෙළඳපොළ වෙත  ප්‍රවේශ වීමේ හැකියාව  සහ  ශ්‍රී ලංකාව භූගෝලීය වශයෙන් උපායමාර්ගික පිහිටීම, ශක්තිමත්  ශ්‍රම බලකාය සහ සැපයුම් කටයුතු සම්බන්ධයෙන්අත්කරගත හැකි  තරඟකාරී වාසි, ජර්මානු මෝටර් රථ නිෂ්පාදකයින්ට අගනා අවස්ථාවක්  වනු  ඇතැයි ද  අර්ජුන හේරත් මහතා පැවසීය.

    මෙම අවස්ථාවට සහභාගි වූ මෙරට ජර්මානු ආයෝජනයන්  වන කොන්ටිනෙන්ටල් එක්ස්ප්‍රස් (Eu-Retc - ටයර් නිෂ්පාදනය) හි ආයෝජන මණ්ඩලය අනුමත මෙහෙයුම් පුළුල් කිරීම, TUI සමූහයේ යෝජිත හෝටලය ඉදි කිරීම , ජර්මානු සංචාරකයින් ඉලක්ක කරගත් හිරිකැටිය තරුණ නේවාසිකාගාරයක් සහ ග්‍රෝබ් එයාර් ක්‍රාෆ්ට්  මගින් ගුවන් නියමු පුහුණු ඇකඩමියක් (Pilot Training Academy by Grob Aircraft) ස්ථාපිත කිරීම වැනි ව්‍යාපෘති කඩිනම් කිරීමට අවශ්‍ය පියවරයන් පිළිබඳ අවධානය යොමුවිය.