මෙරට දකුණු හා බටහිර වෙරළ ආසන්න ප්‍රදේශ චීන ආක්‍රමණයකට හසුව ඇතැයි ආරක්ෂක ලේකම් කියයි

    November, 8, 2015

    මෙරට ක්‍රියාත්මක චීන හා ඉන්දායනු ව්‍යාපෘති නිසා රටේ ආරක්ෂාවට තර්ජනයක් එල්ල වී තිබෙන බව ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා පැවසීය. ඒ මහතා මේ බව කියා සිටියේ පසුගිය දා වේයන්ගොඩ බණ්ඩාරනායක මධ්‍ය විද්‍යාලයේ ආදි සිසු පිරිසක් විසින් සංවිධානය කර තිබූ උත්සව අවස්ථාවකට එක්වෙමිනි.

    “පුත්තලමේ සිට හම්බන්තොට දක්වා චීන ආයෝජන තිබෙන්නේ. ඇයි චීනය ආයෝජනය කරන්නේ. විදුලබල මණ්ඩලේ ඉන්න ඉංජිනේරුවෝ නොරොච්චෝලේ හරි තව මොකක් හරි ඕනේ කියනවා. ඒ අය බලන්නේ Power Sector එක ගැන විතරයි. ඊළඟට වරාය අධිකාරියේ මහත්වරු වරාය හදනවා, මෙයින් ජාතික ආරක්ෂාවට තියෙන බලපෑම ගැන කල්පනා කරන්නේ නැහැ“, යනුවෙන් ආරක්ෂක ලේකම්වරයා මෙහිදී කියා සිටියේය.

    “හම්බන්තොට වරායක් හදනවා. මත්තල ගුවන්තොටුපළක් හදනවා. තනිකර චීන ආක්‍රමණයක් තියෙනවා, බටහිර හා දකුණු වෙරළ ආසන්නව“, යැයි හෙට්ටිආරච්චි මහතා පැවසීය.

    මෙහිදී ආරක්ෂක ලේකම්වරයා වැඩිදුරටත් කියා සිටියේ, තම අමාත්‍යංශය Ministry of Defense ලෙසින් නොව Ministry of Security ලෙස තමා සලකන බවයි. Security යන්න Defense යන්නට වඩා පුළුල් අර්ථයක් දෙන බව තම අදහස බවත් එහිදී Political Security, Social Security, Economic Security වැනි අංශ වෙත ආරක්ෂක අංශ සම්බන්ධ වන්නේ කෙසේද යන්න පිළිබඳ මේ දිනවල තමන් සොයා බලන බවත් ඔහු පැවසීය.