May, 25, 2016
ශ්‍රී ලංකාවේ රාජ්‍ය අංශයේ විධායක ශ්‍රේණියේ නිලධාරින් හට ජපානයේ පිළිගත් විශ්වවිද්‍යාලයන්හිදී පශ්චාත් උපාධි පාඨමාලාවන් හැදෑරීමේ අවස්ථාව සලසා දීම පිණිස ජපාන රජය විසින් 2010 වසරේදී මානව සම්පත් සංවර්ධන ශිෂ්‍යත්ව සඳහා වන ජපාන ආධාර වැඩසටහන ශ්‍රී ලංකාවට හඳුන්වා දෙන ලදී.
එම වැඩසටහනෙහි දෙවන කාර්ය රාමුවෙහි තෙවන කණ්ඩායම ලෙස අධ්‍යයන කටයුතුවල නිරත වීම පිණිස තෝරාගත් නිලධාරින් 2016 සැප්තැම්බර් මාසයේදී ඔවුන්ගේ අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට නියමිත අතර, එම නිලධාරින්ට පහසුකම් සැලසීම සඳහා 2016 වර්ෂය වෙනුවෙන් ජපන් යෙන් මිලියන 231ක ප්‍රදානාධාරයක් (ආසන්න වශයෙන් රුපියල් මිලියන 318ක මුදලක්) ජපාන රජය විසින් ශ්‍රී ලංකාවට පිරිනමනු ලැබ ඇත.
ඒ අනුව එකී ප්‍රදානයට අදාළ හුවමාරු ලිපි ජපාන රජය සමඟ අත්සන් කිරීමටත්, එම ප්‍රදානය ලබාගැනීම වෙනුවෙන් ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ආයතනය සමඟ ගිවිසුමක් අත්සන් කිරීමටත් ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
ශ්‍රී ලංකාවේ ප්‍රධාන සංවර්ධන පාර්ශ්වකරුවකු වන ජපාන රජය විසින් පසුගිය දශක කිහිපයක කාලයක සිට ඔවුන්ගේ සාම්ප්‍රදායික ආධාර වැඩසටහන්වලට අතිරේකව තාක්ෂණික ආධාර වැඩසටහන් යටතේ ශ්‍රී ලංකා රජය වෙත සැලකිය යුතු ප්‍රමාණයක විදේශීය පුහුණු අවස්ථාවන් සලසා දෙනු ලැබ ඇත.
Video Story