“මෙවර අයවැය, ණය මත යැපීමේ අවසානය ආරම්භ කරන අයවැයක් විය යුතුයි’’

    November, 3, 2015

    කොළඹ විශ්ව විද්‍යාලයේ ව්‍යාපාරික ආර්ථික විද්‍යා අංශයේ අංශ ප්‍රධානි මහාචාර්ය එච්. ඩී. කරුණාරත්න කියයි

    ණය මත යැපීමේ ආර්ථිකයේ අවසානය ආරම්භ කිරීම මෙවර අයවැයෙන් සිදුවිය යුතු බව කොළඹ විශ්ව විද්‍යලයේ ව්‍යාපාරික ආර්ථික විද්‍යා අංශයේ අංශ ප්‍රධානි මහාචාර්ය එච්. ඩී කරුණාරත්න පවසයි.ඒ මහතා මේ බව සඳහන් කළේ අද (3) පෙරවරුවේ කොළඹ පදනම් ආයතනයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි. ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය විසින් ඉදිරි අයවැය සම්බන්ධයෙන් වන විද්වත් අදහස් ප්‍රකාශ කිරීම සඳහා මෙම මාධ්‍ය හමුව සංවිධානය කර තිබිණ.

    මෙහිදී කරුණු 9ක් පිළිබඳව පැහැදිලි කළ කරුණාරත්න මහතා පැවසුවේ ලෝක ආර්ථිකයේ ප්‍රවණතා 3ක් හඳුනාගත හැකි බවයි. ආදායම් පරතරය වැඩිවීම, ආර්ථිකය වර්ධනය වුවද රැකියා උත්පාදනය නොවීම, සහ ජනතාව ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් අපේක්ෂා කිරීම නිසා සාමුහික තීන්දු ගැනීම යන කරුණු ඒ යටතේ හඳුනා ගත හැකි බව ඒ මහතා කීය.

    මීට සමගාමීව ශ්‍රි ලංකාවේ ද ප්‍රවණතා කිහිපයක් හඳුනාගත හැකි බව ඒ මහතා කීය. ණය මත යැපීම, නිෂ්පාදන වැඩි වුවද අපනයන ආදායම අඩුවීම, බදු අනුපාතය අඩුවීම යන තත්වයන් මෙරට ආර්ථිකය කෙරෙහි බලපෑම් එල්ල කර ඇතැයි ඒ මහතා කීය. මේ නිසා මෙරට අධ්‍යාපන ක්‍රමය වෙනස් කරමින් ව්‍යවසාකයින් සංවර්ධනය කිරීමට සහ නව ව්‍යවසායකයින් බිහි කිරීමට ඉදිරි අයවැයෙන් අවධානය යොමු කළ යුතු බවත්, එමෙන්ම තොරතුරු කළමණාකරණය සඳහා නිසි වැඩපිළිවෙලක් ද අත්‍යවශ්‍ය බව මහාචාර්ය කරුණාරත්න මහතා වැඩිදුරටත් පැවසීය.

    මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් මහාචාර්ය එච්. ඩී කරුණාරත්න මහතා පැවසුවේ මෙරට තොරතුරු හා දත්ත පද්ධතියක් නිසි පරිදි ස්ථාපනය කර නොමැති වීම නිසා මනා ආර්ථික කළමණාකරණයක් සිදුකීරිම අසීරු බවයි. ඉතා අවම දත්ත ප්‍රමාණයක් සහිත ග්‍රාම සේවක සහතිකය පමණක් මත පිහිටා ආර්ථික කළමණාකරණය සිදු කළ නොහැකි බව ඒ මහතා සඳහන් කරයි. තොරතුරු නිසි පරිදි දත්ත පද්ධතියක් මඟින් සකසා නොමැති නිසා බදු අයකිරීම පවා ක්‍රමානුකූලව සිදු කළ නොහැකි බව ඒ මහතා පෙන්වා දුන්නේය.මේ නිසා ඉදිරි අයවැය මඟින් නිවැරදි දත්ත කළමණාකරණයක් සඳහා වැඩපිළිවෙක් අවශ්‍ය බව කරුණාරත්ත මහතා අවධාරණය කරයි.

    ඡායාරූපය - මහාචාර්ය එච්.ඩී. කරුණාරත්න මහතා මාධ්‍ය හමුවේ දී අදහස් දක්වමින්