මෙවර අයවැය නවෝත්පාදනය පදනම්ව යෝජනාවීම සතුටට කරුණක් – ඇමති චම්පික

    October, 23, 2014

    ලෝක දළ ජාතික නිෂ්පාදනයෙන් 30% ක් අධි තාක්ෂණික නිෂ්පාදන තුළින් නිර්මාණය වී තිඛෙන අතර අඛණ්ඩව නව නිපැයුම් සඳහා යොමුවන රටවල් ලෝකයේ දැවැන්ත ආර්ථීකයන්ට උරුමකම් කියනු ලබයි. ශ්‍රී ලංකාවේ නවෝත්පාදන ක්ෂේත්‍රයට රජය විසින් ආයෝජනය කරන මුදල කිසිසේත් ප්‍රමාණවත් නොවන බවත්, දේශීය නව නිපැයුම් කෙරෙහි නැඹුරුවක් ඇති කරමින් ඒ ඔස්සේ නවෝත්පාදන ආර්ථීකයක් බිහිකිරීමට අත්‍යවශ්‍ය බව තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අවධාරණය කරසිටී. අමාත්‍යවරයා මේ බව සඳහන්කර සිටියේ අද(23) උදෑසන තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවති ''සහසක් නිමැවුම් ජාතික නව නිපැයුම් ප්‍රදර්ශනය හා තරගය 2014'' සඳහා පැවති පූර්ව මාධ්‍ය සාකච්ඡාවට සහභාගී වෙමිනි.

    නිරන්තරයෙන්ම නව නිපැයුම් පිළිබඳව අවධානය යොමු කරමින් ඒ සඳහා ආයෝජනය කරනු ලබන රටවල් සීග්‍රයෙන් දියුණුව කරා ගමන් කරන අතර නිරන්තරයෙන් නව භාණ්ඩ හා සේවා හඳුන්වා දෙයි. ශ්‍රී ලාංකිකයන් වශයෙන් අපද නව නිර්මාණ බිහිකිරීම තුළින් රටේ ආර්ථීකය සවිමත් කිරීමට පෙරමුණ ගන්නේ නම් එය දේශීය ආර්ථීකය හරහා ලෝකය විනිවිද දකින දැවැන්ත පියවරක් වනු ඇතැයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    නවෝත්පාදනය හා දැනුම පදනම් කරගත් නව ආර්ථීක ආයෝජන සැළැස්මක් තම අමාත්‍යෘංශය මගින් ඉදිරිපත්කොට ඇති අතර ඉන් රටේ ආර්ථීකය පිළිබඳව නව දෘෂ්ටිකෝණයකින් බලා මෙහෙවිය හැකි බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. මෙවර ඉදිරිපත්කොට ඇති අයවැය තුළින්ද නවෝත්පාදන ආර්ථීක සංකල්පය කෙරෙහි අවධානය යොමුකිරීම පිළිබඳව සතුටුවිය හැකි බවත් එය තම අමාත්‍යාංශය මඟින් ඉදිරිපත් කරන ලද නව ආයෝජන සැළැස්මෙහි සංකල්පය බවද අමාත්‍යවරයා සඳහන් කර සිටියේය.

    තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයට අනුබද්ධ ආයතනයක් වන ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසම විසින් සංවිධාන කරනු ලබන '' සහසක් නිමැවුම්'' ජාතික නව නිපැයුම් ප්‍රදර්ශනය හා තරඟය මෙවරත් ඔක්තෝබර් 31 දින සිට නොවැම්බර් 02 දින දක්වා ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේදී පැවැත්වේ. ශ්‍රී ලාංකිකයන්ගේ නිර්මාණශීලීත්වය විදහා දක්වන ප්‍රදර්ශනයක් වන '' සහසක් නිමැවුම්'' ජාතික නව නිපැයුම් ප්‍රදර්ශනය හා තරඟය නව නිපැයුම් විශාල ප්‍රමාණයක් එක් ප්‍රදර්ශනයකදී එළිදක්වා සමාජගත කරමින් ශ්‍රී ලාංකිකයන් තුළ දේශීය නව නිපැයුම් කෙරෙහි නැඹුරුවක් ඇති කිරීමත් ඒ ඔස්සේ නවෝත්පාදන සංස්කෘතියක් බිහිකිරීමත් අරමුණු කරගනී.

    මෙවර ප්‍රධාන අංශ 04 ක් යටතේ, තාක්ෂණික ක්ෂේත්‍ර 13 ක් ඔස්සේ නව නිපැයුම් 200 කට අධික සංඛ්‍යාවක් ඉදිරිපත් කෙරේ. ඔක්තෝබර් 31 දින පස්වරුවේ ප්‍රදර්ශනය ආයෝජක ප්‍රජාව සඳහා ආරම්භ වන අතර මහජන ප්‍රදර්ශනය නොවැම්බර් 01 හා 02 යන දෙදින පෙ.ව. 10.00 සිට ප.ව. 6.00 දක්වා පැවැත්වේ.

    ප්‍රධාන තරඟ අංශ හතරෙන් වෙන වෙනම තෝරා ගැනෙන හොඳම නව නිපැයුම සඳහා එම තරඟ අංශයේ '' දසිස්'' සම්මානය, සහතික පත්‍රය සහ රු.750,000 ක මුදල් ත්‍යාගයක් පිරිනැමෙන අතර, වානිජකරණ අංශයේ හොඳම නව නිපැයුම සඳහා '' දසිස් '' සම්මානය සහ සහතික පත්‍රය පිරිනැමේ. පාසල් අංශය සඳහා '' කණිෂ්ට දසිස් '' සම්මාන 03 ක් පිරිනැමෙන අතර රු.250,000 බැගින් වූ මුදල් ත්‍යාග හා සහතික පත් හිමිවේ. තාක්ෂණික ක්ෂේත්‍ර 13 යටතේ ඉදිරිපත් කර ඇති නව නිපැයුම් සියල්ල ආවරණය වන පරිදි නම්කර ඇති ජාතික වැදගත්කමක් සහිත ක්ෂේත්‍ර 05 ක් සඳහා විශේෂ සම්මාන හා රු.200,000 ක මුදල් ත්‍යාග හිමිවන අතර දසිස් සම්මානලාභීන්හට ඉදිරි වර්ෂයන්හිදී පැවැත්වෙන ජාත්‍යන්තර නව නිපැයුම් තරඟ සඳහා සහභාගිවීමේ අවකාශ සැළසේ.

    Video Story

    Stock Market

    Exchange Rates