මෙසී ගේ බදු වංචාවට සම්බන්ධ සමාගම් හෙළිවෙයි

    July, 6, 2016

    බාසිලෝනා පාපන්දු ක්‍රීඩා සමාජයේ හා ආජන්ටිනා ජාතික පිලේ සුපිරි පෙර පෙළ ක්‍රීඩක ලයනල් මෙසී හා ඔහුගේ පියා හට මාස 21 ක සිරදඬුවමක් නියම කිරීමට ස්පාඤ්ඤ අධිකරණයක් විසින් අද (06) දිනයේ දී පියවර ගනු ලැබීය. මෙහිදී ඔවුන් හට එල්ල වී තිබුණු චෝදනා වනුයේ යූරෝ මිලියන 4.16 ක පමණ බදු මුදල් ගෙවීම් පැහැර හරින ආකාරයෙන් කටයුතු කර තිබීමයි.

    පස්වතාවක් ලොව හොඳම පාපන්දු ක්‍රීඩකයා ලෙසින් නම් කෙරුණු මෙම 29 හැවිරිදි සුපිරි ක්‍රීඩකයා තම පියාණන් හා එක්ව බෙලීස් , බ්‍රිතාන්‍ය, ස්විස්ටර්ලන්තය හා උරුගුවේ පිහිටි සමාගම් උපයෝගී කර ගනිමින් මෙම බදු වංචාව කර ඇතැයි අනාවරණය වී තිබේ.

    මේ අතර Danone, Adidas, Pepsi-Cola, Procter & Gamble හා Kuwait Food Company යන සමාගම් හි වෙළෙඳ දැන්වීම් සඳහා පෙනී සිටිමින් ලද ආදායම් අනාවරණය කිරීම ද ලයනල් මෙසී විසින් පැහැර ඇති බවට සොයා ගෙන ඇත.

    ලයනල් මෙසී ගේ සියලු මූල්‍ය කළමනාකරණ කටයුතු ඔහුගේ පියා විසින් සිදුකර ඇති අතර මෙම වරද සම්බන්ධයෙන් ඔහුගේ පියා ද කොටස්කරුවෙකු වී ඇත්තේ එබැවිනි.

    කෙසේ වෙතත් ස්පාඤ්ඤයේ සාමාන්‍ය නීතිය අනුව වසර දෙකකට වඩා අඩු ප්‍රචණ්ඩ නොවන අපරාධ ගණයට වැටෙන වැරදි සම්බන්ධයෙන් සිරදඬුවම් නියම වූවන්ට බොහෝ දුරට අභියාචනාවක් මඟින් එම දඬුවම අවලංගු කරවා ගැනීමේ අවස්ථාව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී.

    මෙම බදු වංචා චෝදනාව සම්බන්ධයෙන් වැරදිකරු වූ ලයනල් මෙසී හට යූරෝ මිලියන 2.09ක හා ඔහුගේ පිය වන ජෝජ් හොරාසියෝ මෙසී හට යූරෝ මිලියන 1.6 ක දඩ මුදලක් නියම කිරීමට ද අධිකරණය මෙහිදී පියවර ගනෙ ඇත.

    ඡායාරූපය - ලයනල් මෙසී (දකුණේ) හා ඔහුගේ පියාණන් අධිකරණය ඉදිරියේ පෙනී සිටි අයුරු (AFP Photo/Alberto Estevez)