යුනියන් බැංකුවේ ලොකු කුට්ටිය විදෙස් ආයෝජකයෙකුට විකුණයි

    August, 14, 2014

    Union Bank of Colombo PLC සමාගමේ සියයට 70 කට ආසන්න කොටස් ප්‍රමාණයක් රුපියල් බිලියන 15 කට ආසන්න මුදලකට මිලදී ගැනීමට කේමන් දූපත්වල සංස්ථාපනය කරන ලද කල්චර් ෆයිනෑන්ෂල් හෝල්ඩින්ග්ස් සමාගම එකඟතාවයකට පැමිණ තිබේ. ඇමරිකාව පදනම් කරගත් ලොව විශාලතම පුද්ගලික ආයෝජන සමාගමක් වන TPG සමාගමේ ආසියාව ඉලක්ක කරගත් ආයෝජන අරමුදල වන TPG Asia VI,L.P., සහ එයට අනුබද්ධ සමාගම් විසින් වක්‍රාකාරව TPG Asia SF Pte.Ltd සමාගම හරහා කල්චර් ෆයිනෑන්ෂල් හෝල්ඩින්ග්ස් නැමති මෙම ආයෝජන සමාගමේ සියයට 100 ක කොටස් අයිතියට හිමිකම් කියයි.

    මෙම සමාගම විසින් පුද්ගලික කොටස් ගනුදෙනුවක් (Private Placement) ලෙසින් Union Bank of Colombo PLC සමාගමේ ඡන්ද බලය සහිත සාමාන්‍ය කොටස් මිලියන 742.1 ක් කොටසක් රුපියල් 15.30 ක් බැගින් මිලදී ගැනීමට මෙහිදී එකඟ වී තිබේ.

    මීට අමතරව, මෙම ආයෝජකයාටම Union Bank of Colombo PLC සමාගමේ කොටස් බලපත්‍ර මිලියන 218.2 ක් පුද්ගලික කොටස් ගනුදෙනුවක් ලෙසින් විකිණීමට එකඟවී තිබේ. මෙහිදී, කොටස් බලපත්‍රයක් විකුණන්නේ ශත 0.30 ක මුදලකටයි.

    මෙම ගනුදෙනුව සඳහා Union Bank of Colombo PLC සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය ශ්‍රී ලංකා මහ බැංකුවෙන් අවසර ලබාගෙන ඇත. මෙහිදී, කල්චර් ෆයිනෑන්ෂල් හෝල්ඩින්ග්ස් සමාගමට Union Bank of Colombo PLC සමාගමේ කොටස් සියයට 75 ක් දක්වා මිලදී ගැනීම සඳහා මෙම අවසරය ලැබී ඇත.

    මෙම නිවේදනය කරන දිනට Union Bank of Colombo PLC සමාගමේ රුපියල් බිලියන 4.9 ක වත්කම් තිබෙන බව සඳහන්ය.

    කොටස් හා කොටස් බලපත්‍ර විකිණීමෙන් ලැබෙන මුදල් Union Bank of Colombo PLC සමාගමේ පළමු පෙළ ප්‍රාග්ධනය ශක්තිමත් කිරීමට යෙදවීමට අපේක්ෂා කරන අතර මේ තුළින් මහ බැංකුව පනවා තිබෙන අවම ප්‍රාග්ධන අවශ්‍යතාවය සපුරා ගැනීමට සමාගමට හැකිය.

    මෙම නිවේදනය අපේක්ෂාවෙන් අද පස්වරුවේදී කොළඹ කොටස් වෙළඳ පොළ විසින් Union Bank of Colombo PLC සමාගමේ කොටස් ගනුදෙනුවීම තාවකාලිව අත්හිටුවීමටද පියවර ගත්තේය.