යුරෝපා කොමිසම ලංකාවෙන් මාළු ගැනීම නවතයි

    October, 14, 2014

    නීති විරෝධී ආකාරයෙන් ශ්‍රී ලංකාව සිදුකරන ධීවර කටයුතු නවතා දමන ලෙස දිගින් දිගටම අවවාද කළ යුරෝපා කොමිසම එයට දඬුවමක් ලෙස ශ්‍රී ලංකාවෙන් මත්ස්‍ය නිෂ්පාදන මිලදීගැනීම අත්හිටුවීමට තීරණය කර තිබේ.

    මේ අනුව, දැනට පවතින වාණිජ ගිවිසුම් වලට බලපෑමක් නොවන පරිදි මෙම තහනම ලබන ජනවාරි මැද සිට ක්‍රියාත්මක කිරීමට යුරෝපා සංගමය අදහස් කර ඇත.

    ශ්‍රී ලංකාව ඇතුළු බෙලීස්,ෆීජි,පැනමා,ටෝගෝ, වනවාටු යන රටවලට යුරෝපා කොමිසම විසින් මීට පෙරාතුව මසුන් ඇල්ලීමේදී නීති විරෝධී ක්‍රම භාවිතා නොකරන ලෙස උපදෙස් ලබාදී තිබුණු අතර එසේ නොකරන්නේ නම් මත්ස්‍ය නිෂ්පාදන මිලදී නොගන්නා බවට අනතුරු ඇඟවීම් සිදුකර තිබිණි.

    එබැවින් බෙලීස්,ෆීජි,පැනමා,ටෝගෝ, වනවාටු යන රටවල් යුරෝපා කොමිසමේ උපදෙස් මත නිෂ්පාදන ප්‍රමිති ආරක්ෂා කිරීමට පියවර ගත් බැවින් එකී රටවල පනවන්නට නියමිතව පැවති වාරණය අත්හිටුවීමට තීරණය කර තිබේ.

    එසේ වුවද ශ්‍රී ලංකාව දිගින් දිගටම එම ප්‍රමිතීන් ආරක්ෂා කිරීමට නිසි පියවරක් නොගත් බැවින් මෙලෙස මත්ස්‍ය නිෂ්පාදන මිලදී ගැනීම නවතා දැමීමට තීරණය කළබව යුරෝපා කොමිසම වැඩිදුරටත් සඳහන් කරයි.