June, 17, 2020
කොවිඩ්-19 වසංගතය බොහෝ දෙනෙකුගේ ජීවිත මෙන්ම ජීවනෝපාය මාර්ග ද දැඩි බලපෑමකට ලක් කර ඇති මේ අවස්ථාවේදී, ආහාර වටිනාකම් දාමය තුළ ක්‍රියාකාරී විවිධ පාර්ශ්වකරුවන් අතර සහයෝගීතාව අන් කවරදාටත් වඩා ඉහළ වැදගත්කමක් උසුළයි.
මෙම පසුබිම තුළ යුරෝපා සංගමයේ අනුග්‍රහයෙන් ක්‍රියාත්මක වන ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය නවීකරණය සඳහා තාක්ෂණික සහාය සැපයීමේ වැඩසටහන (Technical Assistance to the Modernisation of Agriculture Programme -TAMAP), මෙරට කෘෂිකර්මාන්ත අංශයේ ඵලදායීතාව හා කාර්යක්ෂමතාවය වැඩිකිරීමට සුවිශේෂී දායකත්වයක් සැපයීමට ඉදිරිපත්ව සිටී.
Ecorys Nederland B.V. උපදේශන සමාගම හරහා ක්‍රියාවට නැංවෙන මෙම වැඩසටහන යටතේ, උද්‍යාන විද්‍යාව (පලතුරු හා එළවළු), ජලජීවී වගාව, කිරි, මී මැසි පාලනය, විසිතුරු මල් වගාව, තල් සහ සගන්ධ තෙල් ආශ්‍රිතව මෑතකාලීන කෘෂිකාර්මික වටිනාකම් දාම විශ්ලේෂණයක් සිදුකර තිබේ. මෙම අධ්‍යයන හරහා රැස් කරගත් දැනුම බෙදා දීම සඳහා මහනුවරදී සහ කොළඹදී වැඩමුළු සහ පුහුණු සැසි කිහිපයක් TAMAP විසින් සංවිධානය කරන ලදී.
“අපි මාස 14කදී විවිධ ආහාර ද්‍රව්‍ය ආශ්‍රිතව වටිනාකම් දාම අධ්‍යයන අටක් පිළියෙළ කළා. එහිදී වටිනාකම් දාම වල ක්‍රියාකාරීත්වය වගේම ඒ හා බැඳුණු ආර්ථික, සමාජීය හා පාරිසරික පැතිකඩ පිළිබඳවත් අපි සොයාබැලුවා” යනුවෙන් TAMAP කණ්ඩායම් නායක ආචාර්ය ක්‍රිස්ටෝෆ් බැට්ස්ලන් මහතා පැවසීය.
ශ්‍රී ලංකාවේ විවිධ වටිනාකම් දාම හරහා හුවමාරු වන නිෂ්පාදනවල ප්‍රමාණය හා ගුණාත්මක භාවය වැඩි කිරීම අරමුණු කරගනිමින් කෘෂිකර්මාන්තයට අදාළ නිලධාරීන් හා සෙසු පාර්ශ්වකරුවන් පුහුණු කිරීමේදී, මෙම වටිනාකම් දාම අධ්‍යයන හරහා අනාවරණය කරගත් තොරතුරු බෙහෙවින් වැදගත් වේ.
“බොහෝ ආහාර ද්‍රව්‍ය පිළිබඳ සලකා බැලීමේදී ඒවායේ ලාභයේ වැඩි පංගුව හිමිකරගන්නේ අතරමැදියන්, අපනයනකරුවන් හෝ සැකසුම්කරුවන් මිසක් ගොවියන් නෙමෙයි. එම නිසා ගොවීන්ට ඉහළ ආදායමක් හිමිකර දීම සඳහා ඔවුන්ගේ කේවල් කිරීමේ ශක්තිය වැඩිකරන්නේ කෙසේද යන්නත්, මෙම වටිනාකම් දාමයන්ට තවදුරටත් වටිනාකම් එකතු කළ හැක්කේ කෙසේද යන්නත් පිළිබඳ අපි අවධානය යොමුකළා” යනුවෙන් TAMAP හි වටිනාකම් දාම විශේෂඥ හැන් වැන් ඩි මීරෙන්ඩොක් මහතා ප්‍රකාශ කළේය.
“ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රය, වෙළෙඳපොළ පදනම් කරගත් අංශයක් ලෙස වැඩිදියුණු කිරීමට නම් වෙළෙපොළ පදනම් කරගත් ප්‍රවේශයක් ම අපි අනුගමනය කළ යුතුයි. අපගේ විශ්ලේෂණය හරහා විවිධ වෙළෙඳපොළවල් පිළිබඳ වැදගත් තොරතුරු මෙන්ම ඒවායේ ශක්තීන් හා දුර්වලතා පිළිබඳවත් කරුණු සැපයෙනවා” යැයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
TAMAP හි කෘෂි ආර්ථික විද්‍යාඥ ආචාර්ය චතුර රොද්‍රිගෝ මහතා අදහස් දක්වමින් පැවසුවේ, අපනයන ප්‍රවර්ධන අවස්ථා සහ ආනයන ආදේශන පිළිබඳ විශ්ලේෂණය කිරීම මෙහිදී අරමුණු කෙරුණු බවත් ඒ අනුව යමින් මෙම වටිනාකම් දාම තෝරාගත් බවත් ය.
“අපි අදාළ සෑම පාර්ශ්වයක් සමඟම සාකච්ඡා කළා. ගොවීන් සමඟත් කේන්ද්‍රගත සමූහ සාකච්ඡා පැවැත්වූවා. වටිනාකම් දාම සතුව විවිධ වෙළෙඳ මාර්ග පවතිනවා. මේ සෑම වෙළෙඳ මාර්ගයකින් ම එහි පාර්ශ්වකරුවන්ට වටිනාකම් නිර්මාණය කෙරෙනවා. එය සෑම පාර්ශ්වකරුවෙකුටම ලැබෙන ලාභ මට්ටම හරහා පිළිබිඹු වෙනවා. එම නිසා ගොවීන්ට වැඩි ප්‍රතිලාභයක් හිමිවන්නේ කවර වෙළෙඳ මාර්ගයකින් ද යන්න සොයාබැලීමට යම් වටිනාකම් දාමයක පවතින විවිධ වෙළෙඳ මාර්ග සංසන්දනය කර බැලීම අප සිදු කළා” ඔහු වැඩිදුරටත් පැවසීය.
පවතින අභියෝග මතු කර දක්වමින් ආචාර්ය රොද්‍රිගෝ මහතා මෙසේ ප්‍රකාශ කළේය. “වර්තමාන ව්‍යාපාර පරිසරය හා බැඳී පවතින අභියෝග රැසක් පවතිනවා. ඊට නියාමන හා අනුකූලතා පද්ධතිය ආශ්‍රිත අභියෝගත් ඇතුළත්. ඒ වගේම ගොවීන් විශාල සංඛ්‍යාවකට ව්‍යාපාරයක් ලෙස කෘෂිකර්මාන්තයේ නියැළීම පිළිබඳ මූලික අවබෝධයක් නැහැ. එම නිසා ඔවුන් තමන්ගේ ජීවනෝපාය මාර්ගය වර්ධනය කරගැනීමේදී අභියෝග රැසකට මුහුණ දෙනවා”.
“අපනයන වටිනාකම් දාමයන්ට හා අපනයන නොවන වටිනාකම් දාමයන්ට වෙන් වෙන් වශයෙන් අනන්‍ය වූ ගැටලුත් පවතිනවා. විශේෂයෙන්ම අපනයන වටිනාකම් දාමය තුළ සැකසුම්, ප්‍රවාහන හා සැපයුම් ක්‍රම වැනි අංශවල ගැටලු වාර්තා වෙනවා” ඔහු පෙන්වා දුන්නේය.
“මහා පරිමාණ ගොවීන්ට පරිමාණ ආර්ථිකයන් ළඟා කරගත හැකියි. එහෙත් කුඩා පරිමාණ ගොවීන්ට එවැන්නක් කළ නොහැකියි. සිය මෙහෙයුම් කාර්යක්ෂමතාව සම්බන්ධයෙන් ඔවුන් විශාල ගැටලු සංඛ්‍යාවකට මුහුණ දෙනවා. ඔවුන් වාණිජ ගොවීන් නොවුණත්, වාණිජ වටිනාකම් දාමයට ඇතුළු වීමට නම් ඔවුන් තම ඵලදායීතාවය වැඩිදියුණු කරගත යුතුයි. විශේෂයෙන්ම තාක්ෂණය හා උපායමාර්ගික ආයෝජන හරහා එය කළ හැකියි. ගොවීන් මීළඟ මට්ටමට ඔසවා තැබිය හැකි ක්‍රමවේද පිළිබඳ අපි සලකා බැලිය යුතුයි” ඔහු පැවසීය.
මෙම වටිනාකම් දාම අධ්‍යයන හරහා ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්ත අංශය වර්තමාන තත්ත්වයේ සිට ඉහළ අගය එකතුකළ නිෂ්පාදන දක්වා විවිධාංගීකරණය කිරීමට ඇති අවස්ථා පිළිබඳ මෙන්ම විශේෂයෙන් ම කාන්තාවන් කෘෂි ක්ෂේත්‍රයට සම්බන්ධ කරගනිමින් කුඩා පරිමාණ ගොවීන් සමාජගත කිරීම ශක්තිමත් කරගැනීම පිළිබඳව ද වටිනා තොරතුරු රැසක් හෙළිවිය.
කෘෂිකර්මාන්ත අංශයේ අනාගත භාවිතාව අරමුණු කරගනිමින් මෙම වටිනාකම් දාම අධ්‍යයන හරහා අනාවරණය කරගත් තොරතුරු, පෞද්ගලික අංශ පාර්ශ්වකරුවන්, සංවර්ධන ව්‍යාපෘති, කෘෂිකර්මාන්තයේ යෙදෙන්නන් සහ රජයේ ආයතන වැනි ශ්‍රී ලාංකික සමාජයේ පුළුල් පිරිසක් ආවරණය වන පරිදි බෙදා ගැනීමට පියවර ගෙන ඇත.
“මෙම වටිනාකම් දාම අධ්‍යයන හරහා අනාවරණය කරගත් කරුණු සහ අවසාන නිර්දේශ මේ වන විට ශ්‍රී ලංකා රජය සමඟ එක්ව සකස් කර ඇති සාර්ව කෘෂිකර්මාන්ත ප්‍රතිපත්තිය (OAP) හා ක්‍රමෝපාය සැලසුමට එකතු කරගැනීමට අපි අදහස් කරනවා” යනුවෙන් යුරෝපා සංගම් දූත මණ්ඩලයේ වැඩසටහන් කළමනාකරු ආචාර්ය ඔලාෆ් හීඩෙල්බැච් මහතා පැවසීය.
සේයා රූ: මහනුවර පැවැති TAMAP වටිනාකම් දාම විශ්ලේෂණ වැඩමුළුවට සහභාගී වූ කෘෂිකර්ම අංශයේ පාර්ශ්වකරුවෝ
Video Story