යුරෝපා සංගමය දකුණු ආසියානු සංක්‍රමණික සේවකයන්ගේ ආරක්ෂාව අවධාරණය කරයි

    December, 8, 2016

    දකුණු ආසියානු කලාපයේ සංක්‍රමණික සේවකයන් මුහුණ දෙන අභියෝග පිළිබඳ සාකච්ඡාවට ලක් කරමින් යුරෝපා සංගමයේ නේපාල නියෝජිත මණ්ඩලය විසින් පසුගියදා කලාපීය සම්මන්ත්‍රණයක් සංවිධානය කළේය. "දකුණු ආසියාව තුළ කම්කරු සංක්‍රමණය පහසු කිරීම සහ සුරක්ෂිත කිරීම" යන මැයෙන් මෙම සම්මන්ත්‍රණය DAI සංවිධානයේ දකුණු ආසියානු අධ්‍යයන මධ්‍යස්ථානයේ (CSAS) සහයෝගයෙන් යුතුව කත්මණ්ඩු නගරයේදී පැවැත්විණි.

    රජයේ ආයතන, වෙනත් ආයතන, සිවිල් සමාජ, ජනමාධ්‍ය, සංක්‍රමණික සමිති, පුද්ගලික අංශය, ජාත්‍යන්තර ප්‍රජාව, සාර්ක් මහලේකම් කාර්යාලය මෙන් ම ඉන්දීය, පකිස්තාන සහ බංග්ලාදේශ යුරෝපා සංගම් නියෝජිත මණ්ඩල ද නියෝජනය කරමින් විශාල පිරිසක් මෙම සම්මන්ත්‍රණය සඳහා සහභාගී වූහ.

    දකුණු සහ අග්නිදිග ආසියානු කලාපය තුළ මෙන් ම යුරෝපා සංගමයේ තෝරා ගත් රාජ්‍ය අතර ද කම්කරු සංක්‍රමණය කළමනාකරණය සඳහා පහසුකම් සැපයීමේ අරමුණ පෙරදැරිව යුරෝපා සංගමය වැඩසටහන් රැසක් සඳහා අරමුදල් ලබා දෙයි. එමෙන් ම, සංක්‍රමණය සහ සංචලතාව සඳහා වන ගෝලීය ප්‍රවේශය (GAMM) ට අනුකූලව අඛණ්ඩ ප්‍රතිපත්තිමය සාකච්ඡාවක් ඇති කිරීම ද යුරෝපා සංගමය කැප වෙයි.

    අත්දැකීම් බෙදාහදා ගැනීමේ වැඩසටහනක් ද මෙම සම්මන්ත්‍රණයේදී ක්‍රියාත්මක කෙරුණු අතර ඊට අමතරව සංක්‍රමණය පිළිබඳ යුරෝපා සංගමයේ ප්‍රතිපත්ති සහ දකුණු ආසියානු කලාපය තුළ යුරෝපා සංගමය දියත් කර ඇති ව්‍යාපෘති සහ වැඩසටහන් පිළිබඳ සාරාංශයක් ද මෙහිදී ඉදිරිපත් කෙරිණි.

    සේයා රූ සටහන : යුරෝපා සංගමයේ නේපාල සහ සාර්ක් තානාපතිනී ගරු රෙන්සේ ටීරින්ක් මෙනවිය (මැද), සම්මන්ත්‍රණයේ ප්‍රධාන ආරාධිත සහ ජාතික සැලසුම් කොමිසමේ සාමාජික ආචාර්ය ගරු ස්වර්ණිම් වේග්ල්, සාර්ක් මහලේකම් කාර්යාලයීය අධ්‍යක්ෂිකා රීටා ධීතල් මෙනවිය සහ යුරෝපා සංගමයේ ඉන්දීය, පකිස්තාන, බංග්ලාදේශ නියෝජිතයන් සහ සැසි සාමාජිකයන්