යුරෝපා සංගමය සහ එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය මෙරට කරදිය මත්ස්‍ය අභිජනනයේ උන්නතිය වෙනුවෙන් සහය ලබා දෙයි

    February, 10, 2016

    මෙරට කරදිය මත්ස්‍ය අභිජනනය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් යුතුව එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය, ශ්‍රී ලංකා ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරිය (NAQDA) සමග එක්ව මඩකලපුව ධර්මපුරම් ප්‍රදේශයේ කරදිය මත්ස්‍ය අභිජනන මධ්‍යස්ථානයක් ඉදි කරමින් සිටී. මිලියන භාගයක පමණ ජනතාවක් ජීවත්වන මෙරට යුද්ධයට මැදි වූ සහ මායිම් වූ දිස්ත්‍රික්ක හතක් ආවරණයවන පරිදි ඒවායේ ආර්ථික, සමාජ සංවර්ධනය ඇති කිරීම සඳහා මෙරට රජයට සහය වීමේ අරමුණින් ක්‍රියාත්මක යුරෝපා සංගමය සහය දෙන දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන (EU-SDDP) යටතේ මෙම ව්‍යාපෘතිය දියත් කෙරේ. සමස්ත EU-SDDP වැඩසටහන සඳහා වැය කෙරෙන මුදල යුරෝ මිලියන 60 කි.

    ධීවර සහ ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය ගරු මහින්ද අමරවීර මහතා විසින් අත්තිවාරමට මුල් ගල් තැබීමෙන් අභිජනන මධ්‍යස්ථානයේ ඉදිකිරීම් කටයුතු පෙබරවාරි මස 7වනදා නිල වශයෙන් ඇරඹිණි. පුනරුත්ථාපන හා නැවත පදිංචි කිරීමේ රාජ්‍ය අමාත්‍ය එම්.එල්.ඒ.එම්.හිස්බුල්ලා, නැගෙනහිර පළාත් කෘෂිකර්ම, සත්ත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය, වාරිමාර්ග සහ ධීවර කටයුතු අමාත්‍ය ක්‍රිෂ්ණපිල්ලෙයි දොරෙයිරාජසිංහම්, ශ්‍රී ලංකා ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරියේ සභාපති, ශ්‍රී ලංකා ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්, ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ නියෝජිතයන් ඇතුළු සම්භාවනීය අමුත්තෝ රැසක් උළෙල සඳහා සහභාගී වූහ.

    "මෙරට පළමු කරදිය මත්ස්‍ය අභිජනන මධ්‍යස්ථානය ඉදි කිරීම මගින් මෙතෙක් මෙරට ධීවර කර්මාන්තය තුළ පැවති අවශ්‍යතාවක් සම්පූර්ණ වනවා මෙන්ම මෙමගින්, මඩකලපුව දිස්ත්‍රික්කයේ ධීවර කර්මාන්තය නගා සිටුවීමටත්, නව රැකියා අවස්ථා උදාකරලීමටත් අවස්ථාව උදා වනු ඇත. ව්‍යාපෘතිය සඳහා සිය සහයෝගය ලබා දෙන නැගෙනහිර පළාත් ධීවර අමාත්‍යංශයටත්, කරදිය මත්ස්‍ය අභිජනන මධ්‍යස්ථානයේ ඉදිකිරීම් කටයුතු සඳහා අරමුදල් ලබා දෙන යුරෝපා සංගමයටත්, ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන ආහාර හා කෘෂිකර්ම සංවිධානයටත් මා ස්තුතිවන්ත වනවා." අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.

    මෙහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරියේ සභාපති උපාලි මොහොට්ටි මහතා සඳහන් කළේ, මෙම මත්ස්‍ය අභිජනන මධ්‍යස්ථානයට මුල්ගල් තැබීම ශ්‍රී ලංකා ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරියත්, ආහාර හා කෘෂිකර්ම සංවිධානයත් අතර ඇති සවිමත් සබඳතාව පිළිබිඹු කරන වැදගත් අවස්ථාවක්වන බවය. නැගෙනහිර පළාත් ධීවර කර්මාන්තය නඟාසිටුවීම සඳහා රජය සහය ලබා දෙන බවත්, එහි එක් පියවරක් ලෙස මඩකලපුව දිස්ත්‍රික්කයේ ජලජීවී කර්මාන්ත උද්‍යානයක් ඉදිකිරීම සඳහා රජය දැනටමත් ප්‍රතිපාදන වෙන් කර ඇති බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

    "මත්ස්‍ය අභිජනන මධ්‍යස්ථානයේ ඉදිකිරීම් කටයුතු වසරක් තුළ නිම කිරීමට සැලසුම් කර ඇති අතර, එමගින් වාර්ෂිකව මත්ස්‍ය පැටවුන් මිලියන 5 කට අධික සංඛ්‍යාවක් නිෂ්පාදනය කෙරෙනු ඇති. මෙම කරදිය මත්ස්‍ය අභිජනන මධ්‍යස්ථානය මෙරට සමස්ත ජලජීවී නිෂ්පාදනය 5% කින් වර්ධනය කිරීමට සමත් ජාතික වැදගත්කමකින් යුතු ව්‍යාපෘතියකි." ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ නියෝජ්‍ය වැඩසටහන් නියෝජිත ආචාර්ය ධර්මශ්‍රී විජේරත්න මහතා මෙහිදී අදහස් පළ කළේය.

    රු. මිලියන 142 ක ගිවිසුමක් යටතේ හෙක්ටයාර 2ක භූමි භාගයක ඉදිකෙරෙන ධර්මපුරම් කරදිය මත්ස්‍ය අභිජනන මධ්‍යස්ථානයේ කටයුතු මුල් අදියරවලදී ශ්‍රී ලංකා ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරිය විසින් මෙහෙයවනු ලබන අතර ඉන් අනතුරුව එය රාජ්‍ය සහ පුද්ගලික අංශවල සහයෝගයෙන් පාලනයවනු ඇත.

    EU-SDDP වැඩසටහන යටතේ, තිරසාර සහ ලාභදායී ජීවනෝපාය ක්‍රමවේද වැඩිදියුණු කිරීම සඳහා කෘෂිකාර්මික, පශු සම්පත් සහ ධීවර කටයුතු සඳහා සහයෝගය ලබා දීම, වාරි වැව් සහ වෙනත් යටිතල පහසුකම් ප්‍රතිසංස්කරණය හා නිෂ්පාදන කණ්ඩායම් සහ රාජ්‍ය ආයතන සවිබල ගැන්වීම තුළින් ආර්ථික දුෂ්කරතා වලින් පෙළෙන මෙරට ග්‍රාමීය ප්‍රජාවගේ ආදායම් උත්පාදනය වැඩිදියුණු කිරීම ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ අරමුණයි.

    ඡායාරූපය - අමාත්‍ය මහින්ද අමරවීර මහතා සමරු ඵලකය විවෘත කරමින්


    අමාත්‍ය මහින්ද අමරවීර මහතා, NAQDA නිලධාරීන්, ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ හා දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහනේ නියෝජිතයන් අත්තිවාරම සඳහා මුල්ගල් තැබීමේ සූදානමින්