යුරෝපීය ආයෝජකයින්ගේ දුක අහන්න මුස්තාෆා සැරසෙයි

    August, 27, 2014

    මෙරට වෙසෙන යුරෝපීය ආයෝජකයින් මුහුණ දෙන ප්‍රශ්න හඳුනා ගනිමින් ඒවා නිරාකරණය කිරීමට සෑම මසකම ඔවුන්ට ඇහුම්කන් දීමේ වැඩසටහනක් ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යංශය යුරෝපීය රටවල තානාපති කාර්යාල හා යුරෝපීය වාණිජ මණ්ඩලය සමග එක්ව ආරම්භ කර තිබේ.

    මේ පිළිබඳව අප සමග අදහස් දැක්වූ ආයෝජන ප්‍රවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා පැවසුවේ මෙම වැඩසටහන සඳහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයද සම්බන්ධ වී සිටින බවයි.

    “මෙය යුරෝපීය ආයෝජකයින්ට ඇහුම්කන් දීමේ රැස්වීමක්. එය ඉදිරියේදී සෑම මසකම පවත්වනවා. එහි මුලසුන දරන්නේ මා විසින්.“

    මෙරට සිදුකරන ආයෝජන කටයුතු වලට යුරෝපීය ආයෝජකයින් සැලකිය යුතු දායකත්වයක් දක්වන අතර 2013 වසරේ මෙරට සිදුකළ ආයෝජන වලින් සියයට 18 කට ආසන්න ප්‍රමාණයක් සිදුකළේ යුරෝපීය ආයෝජකයින් විසිනි.

    ගිය වසරේ ඔවුන් මෙරට ආයෝජනය කළ මුදල ඩොලර් මිලියන 200 කට ආසන්න වේ.