යුරෝපීය ගුවන් සේවා ආරක්ෂණ ඒජන්සිය ශ්‍රීලංකන් ඉංජිනේරු අංශයේ 145 සහතිකය යළි තහවුරු කරයි.

    November, 19, 2019

    ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ඉංජිනේරු අංශය නඩත්තු සේවා , අලුත්වැඩියා සහ පිරිපහදු සේවා (Maintenance, Repair and Overhaul –MRO) සැපයීමේ ප්‍රමුඛයා ලෙස සිය ස්ථාවරය පවත්වාගනිමින්, පුළුල් විගණනයකින් පසුව යුරෝපීය ගුවන් සේවා ආරක්ෂණ ඒජන්සිය (EASA) විසින් ලබාදෙන ඉංජිනේරු විද්‍යාව පිළිබඳ වැදගත් සහතිකය තවදුරටත් දීර්ඝ කර ගැනීමට සමත් වී තිබේ. ඒ අනුව EASA Part-145 සහතිකය නැවත තහවුරු කර ඇති අතර මගින් දකුණු ආසියාව, මැදපෙරදිග සහ අප්‍රිකාව පුරා ගුවන් සමාගම් සඳහා ගුවන් යානා නඩත්තු හා ඉංජිනේරු සේවා සපයන ප්‍රධාන සැපයුම්කරුවෙකු ලෙස ශ්‍රීලංකන් ඉංජිනේරු අංශය තවදුරටත් ශක්තිමත් වනු ඇත.

    මේ පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී විපුල ගුණතිලක මහතා සඳහන් කළේ ශ්‍රීලංකන් ඉංජිනේරු අංශය වසර 40 කට වැඩි අත්දැකීමක් සහිතව, නවීනතම ගුවන් යානා සංකීර්ණය සහ හොඳම ගෝලීය ප්‍රමිතීන් සහතික සහිතව MRO පහසුකම් දියත් කිරීමට කටයුතු කරන බවයි.

    ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන තාක්ෂණික නිලධාරී ඩී.ඒ.ජී.ජයසූරිය මහතා මෙසේ පැවසීය. “පසුගිය වසර දෙක තුළ අපගේ ගුවන් යානා ඉංජිනේරු පහසුකම් නවීකරණය කිරීම සඳහා සැලකිය යුතු ලෙස ආයෝජනය කළා. විශේෂයෙන් දකුණු ආසියාවේ කෙළවරේ සහ උප මහද්වීපයේ, මැදපෙරදිග සහ ගිනිකොනදිග ආසියාවේ සන්ධිස්ථානයක අපගේ උපායමාර්ගික භූගෝලීය පිහිටීම මගින් කලාපයේ සියලුම ගුවන් සමාගම්වල අවශ්‍යතා සපුරාලීමට හැකි වූ බව අපට විශ්වාසයි.”යනුවෙන් හෙතෙම වැඩිදුරටත් පැවසීය.

    ගුවන් සමාගමේ නඩත්තු කටයුතු පිළිබඳ ජ්‍යෙෂ්ඨ කළමණාකරු අර්ජුන කපුගේකියන මහතා මෙසේ පැවසීය. “EASA අනුමැතිය නැවත තහවුරු කිරීම මගින් අපගේ සේවාවන්හි ගුණාත්මකභාවය සහ ඉහළම ප්‍රමිතීන් පිළිපැදීම යළි පෙන්නුම් කරනවා. මෙය යථාර්ථයක් බවට පත්කිරීමට කැපවූ අපගේ කණ්ඩායමට මම ස්තුතිවන්ත වෙනවා. ” යැයි ඒ මහතා සඳහන් කළේය.

    ශ්‍රීලංකන් ඉංජිනේරු අංශය පාරිභෝගික ගුවන් සමාගම්වලට නියමිත වේලාවට ව්‍යාපෘති නිම කිරීම පිළිබඳ විශිෂ්ට වාර්තාවක් ඇතුළුව ප්‍රධාන වාසි කිහිපයක් ලබා දෙයි. එහි ඉංජිනේරු කාර්ය මණ්ඩලයේ උසස් විශේෂඥතාව සහිතව ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන යාත්‍රාංගනය ගුවන් යානා කිහිපයකටම එකවර සේවා පහසුකම් සැලසීමේ හැකියාව පවතී. ඒ අනුව ඕනෑම කාලගුණික තත්ත්වයක් යටතේ විධිමත් නඩත්තු සේවා කටයුතු සිදුකිරීමට ගුවන් යානා යාත්‍රාංගනයේ ආවරණය කරන ලද පහසුකම් වලින් සමන්විත වේ. එහි පහසුකම් අතර එයාර් බස් ඒ 320 ඇණයේ ගුවන් යානා වෙත සේවා පහසුකම් සැලසීම මෙන්ම පටු බඳ සහිත සහ පුළුල් බඳ සහිත ගුවන් යානා සඳහා එකවර සේවා පහසුකම් ලබා දීමේ හැකියාවද පවතී. මෙම ප්‍රධාන යාත්‍රාංගන තුළ සී-චෙක් පරීක්ෂාවන් සහ අනෙකුත් වැදගත් ගුවන් යානා නඩත්තු ක‍ටයුතු සිදුකළ හැකිවේ.

    ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ඉංජිනේරු අංශය (https://www.srilankan.com/mro/) EASA 145 ප්‍රමිතිය සඳහා විගණන ක්‍රියාවලිය පසුගියදා සාර්ථකව නිම කරන ලදී. ඒ අනුව සහ මූලික මෙහෙයුම් නඩත්තු කටයුතු සඳහා EASA 145 තත්ත්ව සහතිකය ලබා ගනිමින් එයාර් බස් සමාගමේ A330 සහ A320 ගුවන් යානා සඳහා සේවා සැපයීමට අනුමැතිය හිමිකර ගෙන තිබේ. එසේම ගුවන් සමාගමේ නඩත්තු හා ඉංජිනේරු අංශය EASA සහතිකලත් පුහුණු කිරීම් සිදු කිරීම සඳහා ද EASA සහතිකය හිමිකරගෙන තිබේ. ඒ අනුව බණ්ඩාරනායක ගුවන් තොටුපළේ සහ මාලදිවයිනේ ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ක්‍රියාත්මක වන ගුවන් යානා සහතික කිරීම සඳහා බලය පැවරී තිබේ.

    ගුවන් යානා නඩත්තු කටයුතු සිදුකිරීම සඳහා සිංගප්පූරුව, චීනය, ඉන්දියාව, කටාර්, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ බහරේන් යන රටවල ජාතික ගුවන් සේවා බලධාරීන්ගේ අනුමැතිය ද ශ්‍රී ලංකන් ඉංජිනේරු ආයතනය සතුව ඇත. එසේම එයාර්බස් A320, A321 (CEO සහ NEO මාදිලි සඳහා) සහ A330 ගුවන් යානා වලින් සමන්විත සමස්ත ශ්‍රීලංකන් ගුවන් ඇණිය සඳහා ද ඔවුන් සම්පූර්ණ ඉංජිනේරු සේවා සපයයි.

    ශ්‍රීලංකන් ගුවන් සේවා පාසල (SLAC) පසුගියදා යුරෝපීය ගුවන් සේවා ආරක්ෂණ ඒජන්සිය (EASA) විසින් ලබාදෙන EASA Part-147 සහතිකය සඳහා සිය අලුත්ම විගණනය සාර්ථකව නිම කරමින් ගුවන් යානා තාක්ෂණ ශිල්පීන් හා ඉංජිනේරුවන් පුහුණු කිරීම සඳහා ප්‍රමුඛතම ආයතනය ලෙස සිය තත්ත්වය ඉහළ නංවාගෙන තිබේ. ඔවුන් 2008 වසරේදී ප්‍රථම වරට EASA Part-147 සහතිකය ලබාගත් අතර එතැන් සිට එය අඛණ්ඩව පවත්වා ඇත.