January, 20, 2026
ලංකා වාණිජ මණ්ඩලයට අනුබද්ධිත, දකුණු ආසියාවේ ප්‍රමුඛතම මෝටර් රථ සංගමය වන සිලෝන් මෝටර් ට්‍රේඩර්ස් සංගමය (CMTA), භාවිතා කරන ලද වාහන ආනයනය කිරීමේ දී දැනට ලබා දෙන 15%ක ක්ෂයවීම් සහනය (depreciation) අහෝසි කරන ලෙස ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටියි.
මෙම 15%ක ක්ෂයවීම් සහනය ලබා දීම සඳහා කිසිදු සාධාරණ හේතුවක් නොමැති බවත්, එමගින් රජයට විශාල බදු ආදායමක් අහිමි වන බවත් CMTA අවධාරණය කරයි. මෙම සහනය ඉවත් කිරීම සම්බන්ධයෙන් රජය මෙතෙක් නිල නිවේදනයක් නිකුත් කර නොමැති වුව ද, ලංකා වාණිජ මණ්ඩලය හරහා ඉදිරිපත් කරන ලද අයවැය යෝජනා කිහිපයකදී ම CMTA මේ පිළිබඳව දිගින් දිගටම කරුණු පෙන්වා දී ඇත.
භාවිතා කරන ලද වාහන ආනයනය කිරීමේ දී මෙම ක්ෂයවීම් සහනය ලබා නොදිය යුතු බව සංගමයේ ස්ථාවරයයි. ආනයනය කරනු ලබන භාවිතා කළ වාහන අතරින් බොහොමයක් ඉතා කෙටි දුරක් ධාවනය කර ඇති (virtually zero mileage) ඒවා වීමත්, ඒවායේ වටිනාකම (CIF අගය) අලුත්ම වාහනයක මිලට බොහෝ දුරට සමාන වීමත් මෙයට හේතුවයි.
දැනට පවතින ක්‍රමය අනුව, භාවිතා කළ වාහන සඳහා බදු ගණනය කිරීමේ දී එහි වටිනාකමෙන් 15%ක සහනයක් හිමි වේ. අලුත්ම වාහන හා සමාන වටිනාකමක් තිබියදීත්, භාවිතා කළ වාහන සඳහා මෙවැනි සහනයක් ලබා දීම මගින් වෙළෙඳපොළේ සාධාරණ තරඟකාරීත්වය නැති වන බවත්, එමගින් භාවිතා කළ වාහන අඩු බදු මුදලකට ගෙන්වීමට අවස්ථාව ලැබෙන බවත් CMTA පෙන්වා දෙයි.
පාරිභෝගිකයන්ට සහනදායී මිලකට වාහන ලබා දීමට රජය දරන උත්සාහය CMTA අගය කරන නමුත්, එවැනි පියවර විධිමත් සහ සාධාරණ පදනමක් මත ක්‍රියාත්මක විය යුතු බව CMTA පවසයි. වාහන මිල අඩු කිරීම රජයේ අරමුණ නම්, බලයලත් නියෝජිතයන් හරහා ගෙන්වන අලුත්ම වාහන සඳහා ද මෙවැනි සහන ලබා දිය හැකි බවට ඔවුන් යෝජනා කරයි.
අලුත්ම වාහන මිල දී ගන්නා පාරිභෝගිකයන්ට වසර පහක නිෂ්පාදකයාගේ වගකීම (warranty) හිමිවන බැවින්, මුල් වසර පහ තුළ නඩත්තු සහ අලුත්වැඩියා සඳහා වන වියදම් අවම වේ. මෙය රජයට විදේශ විනිමය ඉතිරි කර ගැනීමට ද උපකාරී වේ. මන්ද යත්, වගකීම් කාලය තුළ සිදුවන අලුත්වැඩියාවන් සහ කොටස් නැවත ස්ථාපනය කිරීම් සඳහා වන පිරිවැය නිෂ්පාදකයා විසින් දරනු ලබන බැවින් ඒ සඳහා රටින් පිටතට මුදල් ගලා නොයන බැවිනි.
2013 වසරේ නිකුත් කරන ලද ගැසට් පත්‍රය සිහිපත් කරමින් CMTA පවසන්නේ, යම් ක්ෂයවීම් සහනයක් ලබා දෙන්නේ නම් එය වාහනයේ වයස මත පදනම් වූ විධිමත් ක්‍රමවේදයක් අනුව විය යුතු බවත්, එහි උපරිම සීමාව 10% නොඉක්මවිය යුතු බවත්ය. මෙම ක්‍රමවේදය තුළින් සාධාරණත්වය සහතික කළ හැකි බව CMTAහි අදහසයි.
එසේම, වෙළෙඳපොළට ගෙන්වන ඕනෑම වාහනයක් මාස තුනක් ඇතුළත ලියාපදිංචි කළ යුතු බවට තවත් ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශ කර ඇත. එම කාලය තුළ ලියාපදිංචි නොකරන්නේ නම්, ප්‍රමාද වන කාලය අනුව 4% සිට 40% දක්වා දඩ මුදල් අය කළ හැකිය. මෙම නීතිය පැනවීමේ අරමුණ වූයේ පාරිභෝගික ඉල්ලුමට සරිලන පරිදි පමණක් වාහන ආනයනය කිරීම සහතික කිරීම සහ වාහන තොග රැස්කර තබා ගැනීම සඳහා විශාල වශයෙන් විදේශ විනිමය වැය වීම පාලනය කිරීමයි. එබැවින් මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙස CMTA රජයෙන් ඉල්ලා සිටියි.
මෙම 15% සහන ප්‍රතිපත්තිය නිසා රජයට ලැබිය යුතු ආදායම විශාල වශයෙන් අහිමි වන බව CMTA අනතුරු අඟවයි. එබැවින් මෙම සහනය සම්පූර්ණයෙන්ම ඉවත් කරන ලෙස CMTA යෝජනා කරයි.
කෙසේ වෙතත්, භාවිතා කළ වාහන වෙළෙඳපොළ සඳහා සහනයක් ලබා දීමට රජය අපේක්ෂා කරන්නේ නම්, එය විනිවිදභාවයකින් යුත්, ආර්ථික වශයෙන් නිවැරදි සහ රජයේ ආදායම් ඉලක්කයන්ට අනුකූල වන විධිමත් රාමුවක් යටතේ සිදු කළ යුතු බව සංගමය තවදුරටත් අවධාරණය කරයි. එවැනි ක්‍රමවේදයක් සකස් කිරීම සඳහා රජයට සහය වීමට CMTA සූදානමින් සිටියි.
Video Story