රජයේ ගොඩනැඟිලි ඉදිකිරීමට පෞද්ගලික ආයෝජකයින්ගෙන් යෝජනා කැඳවයි

    May, 23, 2018

    පාසල්, විශ්වවිද්‍යාල, රෝහල් සහ රජයේ කාර්යාල ආදී රජයට අයත් ගොඩනැඟිලි ඉදි කිරීම සඳහා වාර්ෂික අයවැය මඟින් වැඩි මුදල් ප්‍රමාණයක් වෙන් කිරීමට රජයට සිදු වන අතර, එම ගොඩනැඟිලි ඉදි කිරීමේ සහ නඩත්තු කිරීමේ කාර්යයන් වෙනුවෙන්ද කාලය සහ මුදල් වෙන් කිරීමට සිදු වේ. එබැවින් රජයේ අරමුදල් අනෙකුත් ප්‍රමුඛතා කාර්යයන් සඳහා වැය කළ හැකි වන පරිදි රජයේ ගොඩනැඟිලි ඉදි කිරීම සඳහා පෞද්ගලික අංශයේ ආයෝජන ලබාගැනීමේ හැකියාව සොයා බැලීම කෙරෙහි අවධානය යොමු වී තිබේ.

    ඒ අනුව, සෞඛ්‍ය, අධ්‍යාපන, උසස් අධ්‍යාපන, නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු යන ක්ෂේත්‍රයන්හි රජයේ ගොඩනැඟිලි ඉදි කිරීම සඳහා රාජ්‍ය - පෞද්ගලික හවුල්කාරිත්ව ක්‍රමවේදය යොදාගැනීමට යෝජනා වී තිබේ. මෙහිදී අදාළ රජයේ ආයතනය වෙනුවෙන් රජයේ ඉඩමක පෞද්ගලික ආයෝජකයා විසින් ගොඩනැඟිල්ල ඉදි කෙරෙන අතර, වසර 1520ක පමණ සහන කාලයකින් අනතුරුව, එම ගොඩනැඟිල්ල රජයට පවරාගනු ලැබේ. ඒ දක්වා කාලය තුළ ගොඩනැඟිල්ල නඩත්තු කිරීමේ කාර්යය රාජ්‍ය - පෞද්ගලික හවුල්කාරිත්වය යටතේ සිදු කෙරෙන අතර, පෞද්ගලික ආයෝජකයා වෙත ගොඩනැඟිල්ල වෙනුවෙන් සහතික වූ වාරික ගෙවීම් රජය විසින් සිදු කරනු ලැබේ.

    ඒ අනුව, මෙම ක්‍රමවේදය යටතේ ඉහත සඳහන් කරන ලද ක්ෂේත්‍රයන්ට අදාළව රජයට අවශ්‍ය ගොඩනැඟිලි ඉදි කිරීම සඳහා පෞද්ගලික ආයෝජකයන් වෙතින් යෝජනා කැඳවීමට අවශ්‍ය ඉදිරි කටයුතු සිදු කිරීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.