April, 7, 2015
පසුගිය ජනවාරි මාසයේ සිට නව රජය විසින් දේශීය වෙළඳ පොළින් ලබාගෙන තිබෙන ණය ප්‍රමාණය දැවැන්තව වැඩිවී තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර තිබෙන නවතම දත්ත මගින් අනාවරණය වේ.
නව රජයේ අතුරු අයවැය මගින් රජයේ සේවකයින්ගේ වැටුප් වැඩිකර අත්‍යවශ්‍ය භාණ්ඩ හා ඛනිජ තෙල් මිල අඩුකිරීම නිසා රජයේ වියදම් වැඩිවී රජයේ ආදායම්වල අඩුවීමක් සිදුවිය.
මේ අනුව, රජයේ වියදම් පියවා ගැනීම සඳහා දේශීය වෙළඳ පොළෙන් භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කර නිකුත් කර ණය සම්පාදනය කර ගැනීමට රජය දැඩි අවධානයක් යොමුකර තිබෙන අතර මේ වසරේ මුල් මාස තුන තුළදී නිකුත් කර තිබෙන භාණ්ඩාගාර බිල්පත් හා භාණ්ඩාගාර බැඳුම්කර තොගය රුපියල් බිලියන 216 කින් පමණ වර්ධනය වී තිබීම කැපී පෙනේ.
එනම්, මහ බැංකුව විසින් රජය වෙනුවෙන් භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර අලෙවිකර මේ වසරේ මුල් මාස තුන තුළදී රුපියල් බිලියන 216 ක ණය මුදලක් දේශීය වෙළඳ පොළින් සම්පාදනය කරදී ඇත.
මේ අතර, මේ වසරේ මුල් මාස තුනේදී ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර (Sri Lanka Development Bonds) නිකුත් කිරීම මගින් රුපියල් බිලියන 70 කට ආසන්න ණය මුදලක් රජය විසින් ලබාගෙන තිබේ.
මේ අතර, මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසා තිබෙන්නේ භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීම මගින් ලබාගත හැකි ණය ප්‍රමාණය රුපියල් බිලියන 850 ක සිට රුපියල් බිලියන 1250 ක් දක්වා රුපියල් බිලියන 400 කින් වැඩිකර ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය ඉල්ලා සිටින බවයි.
රජය, භාණ්ඩාගාර බිල්පත් මගින් ලබාගෙන තිබෙන ණය ප්‍රමාණය රුපියල් බිලියන 829 ක් දක්වා වර්ධනය වී තිබෙන නිසා රුපියල් බිලියන 850 සීමාවට පැමිණීමට මේ වනවිට ආසන්න මට්ටමක සිටී.
කෙසේවෙතත්, රාජ්‍ය වියදම් පියවා ගැනීමට මුදල් අත්‍යවශ්‍යව තිබෙන නිසා මේ ආකාරයෙන් භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීම මගින් ලබාගන්නා ණය සීමාව වැඩිකර ගැනීමට රජය බලාපොරොත්තු වේ.
මේ අතර, විශ්ලේෂකයින් පවසා තිබෙන්නේ ඩොලර් බිලියන 1.5 ක් රැස්කර ගැනීමට රජය විසින් සැලසුම්කර තිබෙන ජාත්‍යන්තර බැඳුම්කර නිකුතුව පමාවීම නිසා රාජ්‍ය මූල්‍ය තත්ත්වයට යම් පීඩනයක් ඇතිවී තිබෙන බවයි.
මෙවැනි තත්ත්වයක් තුළ ඉදිරියේදී පොලී අනුපාතවල ඉහළ යාමක් සිදුවිය හැකි බවද මූල්‍ය විශ්ලේෂකයින් සඳහන් කරයි.
Video Story